Sunday, July 30, 2017

ඒ බදු දීම, මේ බදු දීම හා වෙනත් බදු දීම්...



ලංකාවේ වර්ජන දෙකක් පසුගිය කාලයේ පුවත් මැවුවේය. පළමුවැන්න, වෛද්‍යවරුන්ගේ වර්ජනයයි. දෙවැන්න, තෙල් සංස්ථා සේවක වර්ජනයයි.

වෛද්‍ය වර්ජනයට හේතු වූ මූලික කරුණ සයිටම් වෛද්‍ය පීඨයයි. මේ හා අදාළව අවසන් වරට සිදුවුනේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට ස්වේච්ඡාවෙන් පවරා දෙනු ලැබීමයි. රජය පැත්තෙන් මේ පුවතට ප්‍රසිද්ධියක් ලබා දෙද්දී සයිටම් විරෝධීන් විසින් ප්‍රචාරය කළේ අදාළ රෝහල වෙනුවෙන් ලංකා බැංකුවෙන් නෙවිල් ප්‍රනාන්දු ලබාගත් ණය ඉදිරියේදී රජයට ගෙවන්නට සිදුවන බවයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ අයිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි රජයට පවරා දුන්නේනම් ඒ වෙනුවෙන් ලබාගත් ණය ආපසු ගෙවීම තව දුරටත් නෙවිල් ප්‍රනාන්දුගේ වගකීමක් වන්නේ නැත. ඒ ණය ගෙවන්නට වෙන්නේ රෝහලේ අලුත් අයිතිකරු වන රජයටය. එහෙත්, රජය විසින් නිවේදනය කළ පරිදි ලබාගත් සියලු ණය ආපසු ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දු විසිනි.

ඉහත තත්ත්වය තරමක් සංකීර්ණ තත්ත්වයකි. රජය විසින් රෝහල භාරගන්නා නමුත් ඒ වෙනුවෙන් ලබාගත් ණය ගෙවීමේ වගකීම තිබිය යුත්තේ නෙවිල් ප්‍රනාන්දු සතුවය. රජය හා නෙවිල් ප්‍රනාන්දු අතර අත්සන් කෙරුණු ගිවිසුම මා දැක නැතත්,  පවතින නීතිය යටතේ මෙය කළ හැකි හොඳම ආකාරයකට එය සිදු කර ඇති බව පෙනේ. මේ අනුව, ණය ගෙවා අවසන් වන තුරු රෝහලේ අයිතිය නෙවිල් ප්‍රනාන්දු සතු වන අතර බදු ගිවිසුමකින් එහි භුක්තිය රජයට හිමිවේ. ණය ගෙවා අවසන් කිරීමෙන් පසු රෝහලේ භුක්තිය මෙන්ම අයිතියද රජයට ලැබේ.

පවතින සංකීර්ණ අවශ්‍යතාවය අනුව බදු ගිවිසුමක් අත්සන් කර ඇතත්, මාධ්‍ය වාර්තා අනුව (නාමිකව ගෙවන රුපියල් 1000ක වාර්ෂික බදු මුදලක් හැර) රජය විසින් නෙවිල් ප්‍රනාන්දුට බදු මුදලක් ගෙවිය යුතු නැත. මේ පවරා ගැනීම නීත්‍යානුකූලව කළ හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් ගැන මටනම් සිතාගත නොහැකිය. වෙනත් අයෙකු විසින් එවැන්නක් යෝජනා කරද නැත. එහෙත්, මුලින් නෙවිල් ප්‍රනාන්දු විසින් ණය කන්දක් රජයේ ඇඟේ ගැසූ බව කියූ අයම දැන් මේ පවරාදීම පවරාදීමක් නොව බදු දීමක් පමණක් බව කියති.

තෙල් සංස්ථා වර්ජනයට හේතු වූ කරුණක් වන්නේ වසර හැත්තෑවකට අධික කාලයක් ප්‍රයෝජනයට නොගනිමින් තිබුණු තෙල් ටැංකි ගණනාවක් රජය විසින් විදෙස් සමාගමකට බදු දීමයි. මේ බද්දේ බදු කාලය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බදු කාලයට වඩා දිගු කාලයකි. කෙසේ වුවද, බදු කාලය අවසානයේ මේ තෙල් ටැංකි වල අයිතිය නැවත ශ්‍රී ලංකා රජයට හිමි වේ.

මීට කලින් තෙල් ටැංකි කිසියම් ප්‍රමාණයක් බදු ගත් ඉන්දියානු තෙල් සමාගම දැන් විශාල ලෙස ලාභ උපයන බව පැවසේ. ඉන්දියානු තෙල් සමාගම උපයන ලාබ වලට ප්‍රධානම හේතුව ඔවුන්ගේ දක්ෂතාවයකටත් වඩා, රජය මඟින් කාලයක් තිස්සේ කරන තෙල් පිරිපහදු කර (හෝ ආනයනය කර) විකිණීමේ ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාවයයි.

තෙල් සංස්ථාව ලංකාවේ රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ හොඳම නිදර්ශනයකි. කාලයක් තිස්සේ මේ ආයතනයේ "පුරප්පාඩු" පිරවුණේ මැතිවරණ වලදී යම් අපේක්ෂකයින්ට උදවු කිරීම හා ගමේකම වැනි කරුණු මත මිස අඩු වශයෙන් අදාළ පුරප්පාඩු තිබීම හෝ නිසා නොවේ. ඇතැම් තනතුරු වලට පුද්ගලයින් බඳවා ගැනීමෙන් පසුව අදාළ තනතුරු වල සේවය කරන්නට පුරප්පාඩුවක් ඇති වන තුරු නිකම් වැටුප් ගනිමින් සිටින්නට සිදු වූ අවස්ථා තිබුණේය. ඇතැම් අය තෙල් සංස්ථාවෙන් වැටුප් ලැබුවේ ඇතැම් මැතිවරණ වලදී ඇතැම් අපේක්ෂකයින්ගේ ගම්පළාත් වල පදිංචි වී ඔවුන්ට උදවු කිරීම වෙනුවෙනි. මේ අකාර්යක්ෂමතාවයන්ගේ මිල ගෙවන්නේ රටේ ඉන්ධන පාරිභෝගිකයින් විසිනි. ජාත්‍යන්තර තෙල් මිල කෙතරම් අඩු වුවත් ලංකාවේ තෙල් මිල සමානුපාතිකව අඩු නොවන්නේ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් නිසාය.

ඉන්දියානු තෙල් සමාගම පැමිණීම නිසා තෙල් සංස්ථාවේ ඒකාධිකාරය යම් පමණකින් අඩු වුවත් ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට සැලකිය යුතු වාසියක් සිදු වී නැත. ඒ, ඉන්දියානු තෙල් සමාගම කැමති වුවත් ඔවුන්ට අඩු මිලට තෙල් විකිණීමට ඉඩක් නැති බැවිනි. ඒ නිසා, ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයේ වාසිය පාරිභෝගිකයන්ට නොගොස් ඔවුන්ගේ ලාභ ලෙස එකතු වෙයි. ඔවුන්ට මිල තීරණය කිරීමට නිදහස ලැබේනම් පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන ලැබෙනු ඇති අතර, ඉන්දියානු තෙල් සමාගමේ ලාභ ආන්තික අඩු වුවත්, ඉල්ලුම වැඩි වීම නිසා ඔවුන්ගේ ලාභ තවත් වැඩි වනු ඇත. එහෙත්, එවිට සිදුවන්නේ තෙල් සංස්ථාවේ අලාභ තවත් ඉහළ යාමයි.

තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් නිසා රටේ ජීවත් වන මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ පාරිභෝගික අතිරික්තයෙන් කොටසක් අහිමි වී තිබේ. අකාර්යක්ෂමතාවයන් "හොරකම් කිරීම්" වලටද වඩා හානිදායකය. කිසියම් පොදු දේපොලක් කිසිවකු විසින් හොරකම් කළ විට මෙසේ හොරකම් කළ සම්පත් අඩු වශයෙන් හොරා විසින් භුක්ති විඳී. එයින් වෙනස්ව, අකාර්යක්ෂමතාවයන් පවත්වාගෙන යාමේදී සිදු වන්නේ ලැබෙන්නට තිබුණු යම් වාසියක් කිසිවෙකුටත් නොලැබී යාමයි. හොරකමකදී එය ලැබිය යුතු පුද්ගලයාට නොලැබුණත් වෙනත් අයෙකුට හෝ ලැබේ.

ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ තිබෙන සම්පතක් කොයි තරම් වටිනා එකක් වුවත් එයින් කිසිදු අලුත් සම්පතක් ජනනය වන්නේ නැත. ඔබේ ඉඩමේ පැත්තක ඇති පුරන් වූ කුඹුරු කෑල්ල අස්වද්දන්නට වැය කළ යුතු මුදලට වඩා අඩු මුදලකින් ඔබට කඩෙන් හාල් මිල දී ගත හැකිනම් ඔබ විසින් කුඹුර අස්වද්දන එකෙන් ඔබට සිදුවන්නේ ශුද්ධ අයහපතකි. එහෙත්, කුඹුර අස්වද්දා ලාබ ලැබිය හැකි කෙනෙක්ට එය බද්දට දීමෙන් ඔබට බදු මුදලක්ද, ඔහුට ලාබයක්ද ලැබේ. ඔබට බදු මුදල ගෙවීමෙන් පසුවද ඔහු විශාල ලාබයක් ලබන්නට පුළුවන. ඒ ලාබය ඔබට ලැබිය හැකිව තිබුනේයැයි පසුව දුක් වීම තේරුමක් නැති දෙයකි. අවුරුදු ගණනක් අස්වැද්දුවේ නැති කුඹුර තවත් අවුරුදු ගාණක් ගියත් ඔබ විසින් අස්වද්දන්නේ නැත. ඒ නිසා, පුරන් කුඹුරෙන් ඔබට කිසිදු වාසියක් සැලසෙන්නේද නැත. නමුත්, එය බදු දීමෙන් ඔබට බදු මුදල හෝ හිමි වේ. එයට අමතරව, ඇතැම් විට ඔබට එහි නිපදවෙන වී හෝ හාල් තරමක් අඩු මිලකට මිලදී ගන්නට ලැබෙන්නට වුවද ඉඩක් තිබේ. (කුඹුර බදුගත් පුද්ගලයාගේ තරුණ පුතා ඔබේ දුව සමඟ සම්බන්ධයක් ඇති කරගන්නට ඉඩ තිබීම වැනි කරුණුද බදු දෙන්නට පෙර සලකා බැලිය යුතුය.)

ඇතැම් අය කියන පරිදි තෙල් ටැංකි බදු දීම බදු දීමක් නොව පවරා දීමකි. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාදීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු බදු ගිවිසුමක් අත්සන් කිරීම බදු දීමක් යැයි කියමින් විවේචනය කරන අයත්, තෙල් ටැංකි  බදු දීම පවරා දීමක්යැයි කියන අයත් එකම පිරිසක් වීම විශේෂත්වයකි. තෙල් ටැංකි පැවරීම අගය කරන අය අතර කලකට පෙර චීනයට සම්පත් විකිණීම ගැන කනස්සල්ල පලකළ අය රැසක් සිටීම තවත් විශේෂත්වයකි.

ඒ බදු දීමත්, මේ බදු දීමත් හැර තවත් බදු දීම් තිබේද?

Friday, July 28, 2017

නිදහස් අධ්‍යාපනය කා වෙනුවෙන්ද?


නිදහස් අධ්‍යාපනය පිළිබඳ ජනප්‍රිය අදහසක් වන්නේ ඒ හේතුවෙන් සමාජයේ අසමානතා අඩු වන බවයි. නිදහස් අධ්‍යාපනය සමාජයට බරක් වුවත්, එමඟින් ඉහත අරමුණ යම්තාක් දුරකට ඉටුවේ. එහෙත්, නිදහස් අධ්‍යාපනය තිබුණු පමණින් සමාජයේ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමට සමාන ඉඩප්‍රස්තා හිමිවන්නේ නැත.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තීරණ ඔවුන්ගේ දෙමවුපියන්ගේ හෝ භාරකරුවන්ගේ තීරණයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් විසින් ආයෝජනය කරන්නේ එමඟින් ඔවුන්ගේ අනාගත ශුභ සිද්ධිය සැලසෙන බවට ඇති විශ්වාසය නිසාය. මේ වෙනුවෙන් ඔවුන්ට මිලක් ගෙවන්නට සිදු වේ. එසේ ගෙවන උපරිම මිල තීරණය වන්නේ සිදුවන යහපත හා වැය කරන අරමුදල් වල ආවස්ථික පිරිවැය මතය. අඩු ආදායම් ලබන පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැය මුදල් යහමින් ඇති පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැයට වඩා වැඩිය. ඒ නිසා, සැලසෙන යහපත සමාන වන තත්ත්වයකදී මුදල් ඇති පවුලක දෙමවුපියන් විසින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් ආයෝජනය කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයේදී, එය එසේ නොවුනානම්, රටේ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට පාසැල් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් වැඩි පිරිසකට ඒ අවස්ථාව ලැබුණේය. එහි සමාජ පිරිවැය හා යහපත වෙනම කතා කළ යුතු දෙයකි. එය පසුවට තබමු.

නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයට සාපේක්ෂව අද වන විට ලංකාවේ පවුල් වල ආදායම් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින් දකුණට විතැන් වී (වැඩි වී) තිබේ. නිදහස් අධ්‍යාපනය නොතිබුණද, අද වන විට, එදාට සාපේක්ෂව රටේ දරුවන්ගෙන් විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබනු හැකිව තිබිණි. කෙසේ වුවද, නිදහස් අධ්‍යාපනය නිසා ඒ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.

ඒ අතරම, නිදහස් අධ්‍යාපනය තිබුණද, මූලික අධ්‍යාපනය අනිවාර්ය වුවද, අදටත් රටේ ඇතැම් දරුවන්ට මූලික පාසැල් අධ්‍යාපනයක් නොලැබේ. ඒ, මිල පාලනය කිරීම මඟින් (මේ අවස්ථාවේදී මිල ශුන්‍ය මට්ටම කරා රැගෙන ඒමෙන්) ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් කළ හැකි වුවත්, ඉල්ලුම් සැපයුම් බලවේග තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි. ඒකීය පුද්ගලයින් විසින් ස්වභිමාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම නියාමනය මඟින් වැළැක්විය නොහැකිය. එහෙත්, නියාමනය හේතුවෙන් පුද්ගලයෙකුගේ තේරීම් අතරින් වඩා හොඳ තේරීම වෙනස් වන්නට පුළුවන.

අද ලංකාවේ පාසැල් වයසේ දරුවෙකුට අවශ්‍ය පාසැල ලබා ගැනීම කෙසේ වෙතත් කුමක් හෝ රජයේ පාසැලක අධ්‍යාපනය ලැබීමට විශාල බාධාවන් නැත. එසේ ලැබෙන පාසැලක පාඨමාලා ගාස්තු නොගෙවා ඉගෙනීමට තිබෙන අවස්ථාවට අමතරව පාසැල් පෙළපොත් හා පාසැල් නිලඇඳුම් ආදී තවත් බොහෝ දේ රජයෙන් ලැබේ. එහෙත්, ඉතාම "බාල" පාසැලකට දරුවන් යවන දෙමවුපියෙකු වුවත් තවත් අමතර වියදම් රැසක් දැරිය යුතුය. අභ්‍යාස පොත් ඇතුළු පාසැල් උපකරණ හා පාසැල වෙත දරුවා ප්‍රවාහනය කිරීම ආදිය මේ අනෙකුත් මූලික වියදම් අතර වේ. ගමේ පාසැලට දරුවා පයින් ගෙන යන දෙමවුපියෙකු විසින් ඒ සඳහා වැය කරන කාලයද, මුදල් වැය වීමක් නැතත්, ප්‍රවාහන වියදමේ කොටසකි. (ලංකාවේ පාසැල් ළමුන්ගෙන් 33.9%ක්ම පාසැලට පයින් යන අයයි.) දරුවන් තරමක් ලොකු මහත් වූ විට ඔවුන්ගෙන් තමන්ගේ වැඩට උදවු ගන්නට නොලැබීමද (විශ්ව ළමා ප්‍රතිපත්ති ආදියේ මොනවා තිබුණත්) දෙමවුපියන්ගේ අලාභයකි. මේ අමතර වියදම් දැරිය නොහැකි පවුල් වල දරුවන්ට අදටත් පාසැල් වරම් අහිමි වේ.

වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු යුනිසෙෆ් වාර්තාවකට අනුව, අධ්‍යාපනය අනිවාර්යයෙන් ලැබිය යුතු අවුරුදු 5-14 වයසේ ලංකාවේ ළමුන්ගෙන් 1.8%ක් පාසැල් නොයති. වතු අංශයේ මේ ප්‍රතිශතය 4.6%ක් තරම් ඉහළය. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කිරීමයි. වාර්තාව අනුව දරුවෝ 107,259ක් ළමා ශ්‍රමිකයෝ ලෙස කටයුතු කළහ. ඔවුන්ගෙන් 60%ක් පමණම යෙදී සිටියේ අනතුරුදායක රැකියා වලය. 2016 ළමා ක්‍රියාකාරිත්ව සමීක්ෂණයේ දත්ත අනුවද, කිසියම් ආර්ථික කටයුත්තක නිරතව සිටින ළමුන් ගණන 103,704කි. මේ ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ පහළම කාණ්ඩයේ තත්ත්වයයි. නිදහස් අධ්‍යාපනය පැවතියද එයින් මේ පහළම ආදායම් කාණ්ඩයේ දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකමත් වී නැත. එහෙත්, මේ ළමා ශ්‍රමිකයින් හෝ ඔවුන්ගේ දෙමවුපියන් විසින් කිසියම් භාණ්ඩයක් මිලදී ගන්නා හැම විටකම ඔවුන් විසින්ද වක්‍ර ලෙස ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරති.

මේ පහළම කාණ්ඩයට ඉහළින් සිටින දෙමවුපියන්ගේ දරුවන් බොහෝ දෙනෙකු රජයේ පාසැලක අධ්‍යාපනය ලැබුවත් එයින් අදහස් වන්නේ එම දරුවන්ට හොඳ, සමාන, හෝ ගෙවන මුදලට වටින අධ්‍යාපනයක් ලැබෙන බවම නොවේ. ලංකාවේ රජයේ පාසැල් අතර ඇති ගුණාත්මක භාවයේ වෙනස්කම් ඉතා විශාලය.

පාසැල් වෙත ඇති දෙමවුපියන්ගේ ඉල්ලුම පාසැල් වල ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියක් සපයයි. හොඳ පාසලකට යවන්නට හැකියාව තිබේනම් තමන්ගේ දරුවා ගුණාත්මක භාවය අනුව පහළින් ඇති පාසලකට යවන්නට දෙමවුපියෙකු පෙළඹෙන්නේ නැත. ගුණාත්මක භාවය මනින නිර්ණායක එක් එක් පුද්ගලයාට සාපේක්ෂ වීම වෙනම කරුණකි.

ලංකාවේ පාසැල් අතරින් තවමත් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන්නට පෙර ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් හෝ පරමවිඥාර්ථ සමාගම වැනි සංවිධාන විසින් ස්ථාපිත කර පවත්වාගෙන ගිය පාසැල් වලටය. මේ පාසැල් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය සතුව ඇති අතර සුළු ප්‍රමාණයක් පෞද්ගලික පාසැල් ලෙසම පවත්වාගෙන යනු ලැබේ. පසුව ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල වලටත් විශාල ඉල්ලුමක් ඇතත් පළමු කාණ්ඩයේ පාසැල් වලට මෙන් සියවසක හෝ එකහමාරක පමණ කාලයක් තිස්සේ උපයාගත් කීර්ති නාමයක් නැති මේ පාසැල් ඉල්ලුම අනුව සමස්තයක් ලෙස තිබෙන්නේ පළමු කාණ්ඩයේ පාසැල් වලට වඩා පිටුපසිනි.

ප්‍රධාන වශයෙන්ම ඉහත කාණ්ඩ දෙකට අයත්, උසස්පෙළ විද්‍යා විෂය හැදෑරීමේ පහසුකම් ඇති රජයේ පාසැල් ගණන රටේ මුළු පාසැල් ගණනින් 10% නොඉක්මවයි. දෙමවුපියෙකු විසින් මේ පාසැලකට දරුවෙකු දමා ගැනීම දරුවාගේ කුසලතාවය තිබූ පමණින්ම කළ නොහැක්කකි. ඒ සඳහා, එතරම් පාරදෘශ්‍ය නොවන තවත් බොහෝ වියදම් දැරිය යුතුය.

රජය මඟින් නොමිලේ ලබා දෙන පොදු පාසැල් අධ්‍යාපනය නොතිබුණේනම් කුමක් විය හැකිව තිබුණේද?

එසේ වීනම්, දෙමවුපියන් විසින් තමන්ගේ ආර්ථික ශක්තිය අනුව දරුවන් හැකි තරම් හොඳ පාසැලකට යැවිය හැකිව තිබුණි. මෙහිදී, වැඩි ආර්ථික ශක්තියක් ඇති දරුවන්ට හොඳ පාසැල් ලැබීම නිතැතින්ම සිදු වන්නකි. එහෙත්, එසේ වූ පමණින් දරුවෙකුට  හොඳ පාසැලක් ලැබීමේ එකම නිර්ණායකය දෙමවුපියන්ගේ ආර්ථික ශක්තිය වෙන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්නට පෙර යුගයේ ලංකාවේ තිබුණු ආකාරයේ ලාභ ලැබීම අරමුණු කර නොගත් පාසැල් හැම විටම වාගේ පාසැලට ඇතුළු කරගන්නා දරුවන්ගේ කුසලතා මට්ටම් ගැනද සැලකිලිමත් වන නිසා කුසලතාව අතින් බොහෝ පහතින් සිටින දරුවෙකුට මුදල් තිබූ පමණින්ම හොඳ පාසැලකට යාම අසීරු වනු ඇත. ඒ අතරම, කුසලතාව අතින් බොහෝ ඉහළින් සිටින දරුවන් යම් ප්‍රමාණයකටද ශිෂ්‍යත්ව ආදිය හරහා හොඳ පාසැල් වලට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙවැනි විශේෂ තත්ත්වයන් තිබුණත් ඉතා පැහැදිලිවම වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

ලාභ ලැබීම අරමුණු කරගත් පාසැල් පැවතුනේනම් හොඳ පාසැල් වැඩි ආදායම් ලබන දෙමවුපියන්ගේ දරුවන්ට ලැබෙන්නට තිබෙන ඉඩකඩ තවත් වැඩි විය හැකිව තිබුණු නමුත් කුසලතාවය වැඩි, අඩු ආදායම් පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ආදිය හිමි වීම තවදුරටත් සිදුවනු ඇත. එය සිදු වීමට මේ පාසැල් අයිතිකරුවන් ජනහිතකාමීන් විය යුතු නැත. හොඳ දරුවන් කිසියම් ප්‍රමාණයක් ශිෂ්‍යත්ව දී ඇතුළු කරගත් විට පොදුවේ පාසැලේ ගුණාත්මක භාවය ඉහළ යාමත්, ඒ හේතුවෙන් මුදල් ගෙවා පැමිණෙන සිසුන් ආකර්ෂණය කර ගැනීම පහසුවීමත් නිසා ලාභ ලැබීමේ අරමුණ තිබියදීම මෙය සිදු වේ. මේ හේතුව නිසාම, මුදල් ගෙවන්නට සූදානම් වුවත් කුසලතාවයෙන් අඩු දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීම අපහසු වනු ඇත. කෙසේ වුවද, සමස්තයක් ලෙස, ඉතා පැහැදිලිවම, වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

නිදහස් අධ්‍යාපනය පැවතියද, ඉහත තත්ත්වයේ විශාල වෙනසක් සිදු වී නැත. දැනටත් හොඳ පාසැල් ලෙස හඳුනා ගැනෙන පාසැල් වලට ඇතුළු වීමට ලැබෙන්නේ කිසියම් අවම ආර්ථික මට්ටමක් ඇති පවුල්වල දරුවන්ට පමණි. මේ ක්‍රියාවලිය තුළ, සිසුවෙකුගේ කුසලතාවයට තැනක් ලැබෙන නමුත් කුසලතාවය තිබූ පමණින්ම කිසියම් සිසුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට නොලැබේ. දෙමවුපියන්ගේ වත්කම් ඉහළ මට්ටමක තිබේනම් දරුවන්ගේ කුසලතාවය කිසියම් තරමකට අඩු වුවද හොඳ පාසැලකට ඇතුළු වීමට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පාසැල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී දරුවන්ගේ කුසලතාවය නිර්ණායකයක් වන්නේ ඉතා අඩුවෙනි. එහිදී, වැඩිපුර බලපාන්නේ දෙමවුපියන්ගේ ආර්ථික තත්ත්වය හා "වැඩක් කරගැනීමේ" හැකියාවයි.

ජනප්‍රිය පාසැල් වල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන පිරිවැයෙන් විශාල කොටසක් ලැබෙන්නේ දෙමවුපියන්ගේ මුදල් වලිනි. මේ අර්ථයෙන් බැලූ විට මේ පාසැල් බොහොමයක් ආකෘතිමය ලෙස, ඉගැන්වීම සඳහා මුදල් අයකරන, එහෙත් පොදු අරමුදල් වලින් කිසියම් ප්‍රමාණයකට සුබසාධනය වන පාසැල් ලෙස සැලකීමේ වැරැද්දක් නැත. රජය මඟින් මේ පාසැල් පවත්වා ගැනීමට මූලික පිරිවැයක් දැරුවත්, මෙවැනි පාසැලක ගුණාත්මක භාවය තීරණය කරන ආන්තික රුපියල හැමවිටම ලැබෙන්නේ එහි පාරිභෝගිකයින් වන දෙමවුපියන්ගෙනි. ආදි ශිෂ්‍යයන් විසින් බොහෝ විට පාසැල් වෙත අරමුදල් සපයන්නේද පසුකාලීනව තමන්ගේ දරුවෙකු පාසැලට දමාගැනීමේ අරමුණ පෙරදැරිව නිසා ඔවුන්ද වක්‍ර ලෙස සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමක්ම වේ.

දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරුන්ට කිසියම් අමතර දීමනාවක් ලැබුණත්, ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට රජයෙන් කිසිදු අමතර දීමනාවක් නොලැබේ. එසේ වුවත්, ජනප්‍රිය පාසැල් වලට එන්නට බොහෝ ගුරුවරු කැමැත්තෙන් සිටිති. ඒ නිසා, ජනප්‍රිය පාසැලකට හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගැනීම අපහසු නැත. දුෂ්කර පාසැල් වල සිදු වන්නේ මෙහි අනිත් පැත්තයි. ජනප්‍රිය පාසැලකට එන්නට බොහෝ ගුරුවරුන් කැමැත්තෙන් සිටින්නේ එහි පිටතට නොපෙනෙන මුදල් හා/හෝ මුදල් නොවන වාසි ඇති බැවිනි.

පාසැල් ලාභ ලබන ව්‍යවසායකයින් විසින් පවත්වාගෙන ගියේනම් ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට වැඩි ප්‍රතිලාභ ලැබිය හැකිව තිබුණි. ඒ වැඩි ප්‍රතිලාභ නිසා වඩා හොඳ ගුරුවරුන් එම පාසැල් වලට ආකර්ශනය විය හැකිව තිබුණි. රජයේ මධ්‍යගත සැලසුම තුළ එයට ඉඩක් නැතත්, වෙළඳපොළ බලයන් විසින් වක්‍ර ලෙස ඒ දෙයම සිදු කරයි.

කෙසේ වුවද, රජයේ ජනප්‍රිය පාසැලකට සෘජුව මුදල් ගෙවා "මුදල් පදනම මත" දරුවෙකු ඇතුළු කර ගැනීමේ නීත්‍යානුකූල අවස්ථාවක් දෙමවුපියන්ට නැත. ඒ නිසා, මුදල් අල්ලස් වල සිට ලිංගික අල්ලස් දක්වා බොහෝ දේ සිදුවන්නේ රටේ නීති රාමුවෙන් පිටතය. රටේ නීති රාමුවෙන් පිට පනින්නට සෑම දෙමවුපියෙක්ම කැමති නැත. ඒ නිසා, සැලකිය යුතු මුදලක් ගෙවා ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කරගන්නට කැමති, ඒ සඳහා හැකියාව ඇති, දෙමවුපියන් බොහෝ දෙනෙකුට ඒ සඳහා අවස්ථාව නොලැබේ. ජාත්‍යන්තර පාසැල් වලට ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ මෙවැනි දෙමවුපියන්ගෙනි.

ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යවන්නේ තමන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සැලකිය යුතු මිලක් ගෙවන්නට සූදානමින් සිටින දෙමවුපියන් පිරිසකි. ඔවුන්ට ඇති අනෙක් විකල්පය වන රජයේ පාසලකට දරුවෙකු ඇතුළු කිරීමටද මෙයට කිට්ටු මුදලක් සෘජුව හෝ වක්‍ර ලෙස වැය කරන්නට සිදු වේ. එහෙත්, ඔවුන්ට ඇති ප්‍රශ්නය මේ මුදල ගෙවීම නොවේ. මුදල ගෙවා එවැනි පාසැලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට පාරදෘශ්‍ය ක්‍රමයක් නැති වීමයි.

මුදල් ඇති අයෙකුට තමන්ගේ දරුවෙකු මුදල් ගෙවා ජාත්‍යන්තර පාසැලකට ඇතුළු කර ගත හැකිය. එහෙත්, ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට කිසියම් මුදලක් මෙන්ම බලයක්ද අවශ්‍ය වේ. මීට අමතරව, මේ අවස්ථා දෙකේදීම දරුවාගේ කුසලතා මට්ටමද නොසලකා හැරෙන්නේ නැත.

රජයේ ජනප්‍රිය පාසැල් වල තත්ත්වය මෙසේ වුවත්, රජයේ පාසැල් වලින් සෑහෙන ප්‍රමාණයක් මෙවැනි "ඉල්ලුමක් ඇති" පාසැල් නොවේ. 2016 පාසැල් සංගණනය අනුව, රජයේ පාසැල් වලින් 30%ක පමණ සිටින්නේ සිසුන් සියයකට අඩු ගණනකි. එයින් අඩක පමණ සිටින්නේ සිසුන් පණහකට අඩු ගණනකි. රජයේ පාසැල් වලින් 30%කම ගුරුවරුන් සිටින්නේ තනි ඉලක්කමේ ගණනකි. ඒ අතර, එක් ගුරුවරයෙකු සිටින පාසැල් 27ක්ද, ගුරුවරුන් දෙදෙනෙකු පමණක් සිටින පාසැල් 108ක්ද තිබේ. පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නැති පාසැල් ගණනාවක් තවමත් රටේ තිබේ.

රටේ පහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වැඩි දෙනෙකුට අවසාන වශයෙන් හිමි වන්නේ ඉහත ආකාරයේ අඩු පහසුකම් සහිත පාසැලකි. පවුලේ ආදායම් තත්ත්වය අනුව දරුවන්ට පාසැල් හිමිවීම සිදුවන්නේ පළමු ශ්‍රේණියට ඇතුළු වෙත්දීමය. පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය, ඒ ගැන කවර විවේචන තිබුණත්, සිසුවකුගේ දක්ෂතාවය මත පියවරක් ඉහළට තබන්නට ලැබෙන පළමු අවස්ථාවයි. එහෙත්, ශිෂ්‍යත්ව විභාගයෙන් කුසලතා පෙන්වූ පමණින් දක්ෂ දරුවෙකුට ඔහුගේ කුසලතාවයන්ට ගැලපෙන හොඳම පාසැලට යන්නට ඉඩ ලැබෙන්නේ නැත. පවුලේ ආදායම් තත්ත්වය මෙහිදීද හරහට හිටී.

රජයෙන් නොමිලේ ලැබෙන අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳ දළ ඇස්තමේන්තු කිහිපයක් මගේ පෙර ලිපි වලින් ඉදිරිපත් කළෙමි. මේ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අය කර ගැනෙන්නේ වක්‍ර බදු ලෙසය. වැඩි ආදායම් ලබන පවුල් වැඩියෙන් පරිභෝජනය කරන නිසා බදු වලට ඔවුන්ගේ දායකත්වය වැඩිය. ඒ නිසා, මතු පිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් අධ්‍යාපනය නිසා ඉහළින් පහළට සම්පත් ගලායාමක් සිදුවේ. නමුත්, මෙය පෙනෙන තරම්ම ලොකුවට සිදු වන්නේ නැත.

කිසියම් පවුලක ආදායම ඉහළ යන විට පරිභෝජනයද ඉහළ යයි. එහෙත්, පරිභෝජනය සිදුවන්නේ ආදායමට සමානුපාතිකව නොවේ. ආදායම් මට්ටම කෙතරම් පහත් වුවත් ජීවත් වීම සඳහා මූලික පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුය. ආදායම මේ මට්ටමට වඩා අඩුනම් පවුලකට රජයෙන් ලැබෙන සහනාධාර වලින්, වෙනත් අයගේ පරිත්‍යාග වලින් හෝ ණය වලින් වියදම් පියවාගෙන මේ මූලික පරිභෝජන මට්ටම පවත්වා ගන්නට සිදුවේ. පවුලක ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් කිසියම් ප්‍රතිශතයක් පරිභෝජනය වෙනුවෙන් වෙන් කෙරෙන නමුත් සියල්ල එසේ වෙන් කෙරෙන්නේ නැත. වැඩි ආදායම් මට්ටම් වලදී ඉතිරිය ආයෝජනය කිරීමත්, අඩු ආදායම් මට්ටම් වලදී සෘණ ආයෝජන (ණය ගෙවීම) කිරීමත් සිදුවන බැවිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවුලක පරිභෝජන මට්ටම් විචල්‍ය වන්නේ ආදායම් විචල්‍ය වනවාට වඩා අඩුවෙනි.

අඩු ආදායම් ලබන බොහෝ දෙනෙක් තමන්ගේ ආදායම් මට්ටමද ඉක්මවා පරිභෝජනය කරති. ඒ නිසා, ඒ අයගෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස රජය විසින් එකතු කර ගනී. ඒ වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන්ට කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, මේ පාසැල බොහෝ විට "ඉල්ලුමක් ඇති" පාසැලක් නොවේ.

එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල වැඩි වූ පමණින්ම එම දරුවන්ට ලැබෙන අධ්‍යාපනය වඩා හොඳ එකක් වෙන්නේ නැත. ගුරුවරු එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හා සිසුන් හත් අට දෙනෙක් පමණක් සිටින පාසැල් ලංකාවේ තිබේ. එවැනි පාසැලක එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල ජනප්‍රිය පාසැලක දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා බොහෝ වැඩි විය හැකිය. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි පාසැල් වල දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබෙන බව නොවේ.

රටේ ඉහළ ආදායම් ලබන පවුල් වල සිටින්නෝ පරිභෝජනය පිණිස වැඩි මුදලක් වැය කරති. එහෙයින්, වැඩි බදු මුදලක්ද ගෙවති. එහෙත්, ඒ අතරම මේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් රටේ "හොඳ පාසැල්" කවර ආකාරයෙන් හෝ ලබා ගනිති. ඒ වෙනුවෙන්, විශාල අමතර මුදලක් මේ අය වැය කරන්නේ වුවත්, ගෙවන බදු මුදලට හා අමතර මුදලට වඩා වටිනා අධ්‍යාපනයක් ඔවුහු තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති.

රජය මඟින් නොමිලේ ලබා දෙන පාසැල් අධ්‍යාපනය රටේ පවුල් වලට සමස්තයක් ලෙස 'ශුන්‍ය සමස්ත එකතුවක් (zero sum)' ලැබෙන ක්‍රියාවකි. රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. ඒ නිසා, හැම විටම එක් අයෙකුට ලබා දෙන්නට වෙන්නේ තවත් අයෙකුගෙන් ලබා ගන්නා දෙයකි. මේ ක්‍රියාවලියේ ජයග්‍රාහකයින් හා පරාජිතයින් කවුද? (මෙහි පහත ඉදිරිපත් කරන ප්‍රතිශත යොදාගන්නේ කරුණු පැහැදිලි කිරීම පිණිසය. ඒවා ඉතා දළ ඇස්තමේන්තු පමණි.)

ආදායම් ව්‍යාප්තියේ පහළින්ම සිටින පවුල් 2%ක පමණ ප්‍රමාණයක දරුවන්ට නිදහස් අධ්‍යාපනය තිබියදී වුවද අවශ්‍ය මූලික අධ්‍යාපනයවත් නොලැබේ. එහෙත්, ඔවුහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිභෝජනය සඳහා තමන්ට ඇති සීමිත සම්පත් කැප කරති. ඔවුහු මේ ක්‍රියාවලියේ පැහැදිලි පරාජිතයෝය.

ඉන් පසුව සිටින 40%ක පමණ වන පවුල් වල දරුවන්ට (ලංකාවේ පාසැලකට පයින් හෝ බයිසිකලයකින් යන ප්‍රතිශතය 43.3%කි.) ඉගෙන ගන්නට රජයේ කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, එසේ ලැබෙන්නේ "ඉල්ලුමක් නැති" පාසැලකි. මේ ආදායම් කාණ්ඩයේ දරුවන්ව මුදල් වැය කර හෝ "වෙනත් ක්‍රම වලින්" වඩා හොඳ පාසැලකට යැවීමට ඔවුන්ගේ දෙමවුපියන්ට හැකියාවක් නැත. මේ කාණ්ඩය විසින් වක්‍ර බදු ලෙස ගෙවන මුදලට වඩා වැඩි මුදලක් රජය විසින් ඔවුන් අධ්‍යාපනය ලබන පාසැල් වෙනුවෙන් වියදම් කරන්නේයැයි සිතිය හැකිය. එහෙත්, එසේ වූ පමණින් ඔවුන් ගෙවන මුදලට වටිනා අධ්‍යාපනයක් ඔවුන්ගේ දරුවන්ට ලැබෙන්නේද යන්න සැක සහිතය.

නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම්, මේ වන විට වුවද, ඉහත කණ්ඩායමෙන් අඩකට පමණ කිසිදු අධ්‍යාපනයක් නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ තත්ත්වය වැලක්වී තිබේ. එහෙත්, මෙසේ ලැබුණු අධ්‍යාපනය නිසා මේ කාණ්ඩයේ පවුල් වල ජීවිත විශාල ලෙස සමෘද්ධිමත් වී නැත. මේ කාණ්ඩයේ සිසුවෙකු අධ්‍යාපනය හරහා සමාජයේ ඉහළම ස්ථරයට නැඟීම සිදු නොවන්නක් නොවූවත්, ඒ ඉඩකඩ විශාල නැත. ඒ නිසා, ගෙවන බදු මුදලට සාපේක්ෂව මේ කණ්ඩායම විසින් ලබන පෞද්ගලික ප්‍රතිලාභ එතරම්ම විශාල නැත.

කෙසේ වුවද, ඉහත පිරිස් පාසැල් වෙත යොමු නොවුනේනම් එම සමාජ කාණ්ඩය අතරින් සමාජ විරෝධීන් වැඩි ප්‍රමාණයක් බිහි විය හැකිව තිබුණි. එය එසේ සිදුනොවීම ඔවුන්ගේ අධ්‍යාපනය යම් තරමකින් සුබසාධනය කරන ඉහළ ආදායම් ලබන අයගේ වාසියකි. එයට අමතරව සාක්ෂරතාවය සහිත මූලික ශ්‍රමය සපයන්නන් පිරිසක් සිටීම සමාජ ස්ථරයේ ඉහළින් සිටින ව්‍යවසායකයින්ටද වාසියකි. (මේ ගැන කියන්නට තවත් බොහෝ දේවල් තිබේ. ඒවා පසුවට තබමු.)

අනෙක් අන්තය දෙස බැලුවොත්, ඉහළින්ම සිටින 6-7%ක පමණ ප්‍රමාණයක් තමන්ගේ දරුවන් යවන්නේ ජාත්‍යන්තර පාසැලකට හෝ වෙනත් පෞද්ගලික පාසැලකටය. මේ ස්ථරයේ තවත් පිරිසක් (3-4%ක් පමණ ලෙස සිතමු) සැලකිය යුතු මුදලක් (බොහෝ විට අත යටින්) වැය කර ඔවුන්ගේ දරුවන් රජයේ ජනප්‍රිය පාසැලකට දමා ගත් අයයි. (මේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි විය හැකිය.) ඔවුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස ගෙවා ඇති අයයි. මේ උඩින්ම සිටින ස්ථරයද, පවතින ක්‍රමය තුළ සමස්තයක් ලෙස පරාජිතයෝ වෙති. ඔවුන් ගෙවන බදු මුදල් වෙනුවෙන් ඔවුන්ට සැලසෙන ප්‍රධානම යහපත රටේ සමාජ විරෝධීන් අඩුවෙන් බිහිවීම වැනි වක්‍ර ලාබයි.

නිදහස් අධ්‍යාපනයේ වාසි වැඩිපුරම ඇත්තේ මේ කාණ්ඩ දෙක අතරමැද සිටින 50%ක පමණ පිරිසටය. ඔවුන් අතරද දරුවන් මෝටර් රථයකින් හෝ පාසැල් වෑන් රථයකින් පාසැලට යවන 15%ක පමණ පිරිස වඩා ඉහළින් සිටිති. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා හෝ මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ භාවිතා කරන 35%ක පමණ පිරිස පහළින් සිටිති.

මේ මැද ස්ථර දෙකේ සිටින පවුල් වල අයද රජයට බදු ගෙවනවාට අමතරව, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කරන අයයි. එහෙත්, ඔවුහු බොරු පදිංචි පෙන්වීම, අත යටින් හෝ අත උඩින් මුදල් ගෙවීම, ආදි ශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කිරීම, පෞද්ගලික සම්බන්ධතා ආදී විවිධ ක්‍රම වලින් දෙපැත්තේ සිටින අඩු ආදායම් හා වැඩි ආදායම් කාණ්ඩ පසු කර පෝලිම පනින්නට සමත් වන අයයි. (මෙයින් කියන්නේ මේ ආදායම් කාණ්ඩයේ සිටින සියල්ලන්ම එසේ කරන බව හෝ වෙනත් ආදායම් කාණ්ඩ වල අය එසේ නොකරන බව නොවේ.) ඒ නිසා, අවසාන වශයෙන් තමන් ගෙවන මුදලට වඩා වටිනා දෙයක් මේ කාණ්ඩයේ අය තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති. මේ මැදි ආදායම් කාණ්ඩය තුළ සිටින කාණ්ඩ දෙක අතරින්ද ඉහළ ස්ථරය සිටින්නේ වඩා ඉදිරියෙනි.

ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ වැඩිම වාසි ලබන්නේ 15%ක් පමණ වන ඉහත ඉහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. දෙවනුවට සිටින්නේ 35%ක් වන පහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. ඉහළින්ම සිටින 10%ක පමණ පිරිස පමණක් නොව පහළින්ම සිටින 40%ක පමණ පිරිසද මේ ක්‍රමය තුළ පරාජිතයෝය.

මිනිසුන් තමන්ගේ (හා තමන්ගේ දරුවන්ගේ) යහපත වෙනුවෙන් කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයකි. මිනිසුන්ගේ මේ ස්වභාවය ස්වභාවික ලෙසම වෙනස් වන තුරු බලහත්කාරයෙන් යටපත් කළ නොහැකිය. නීතිරීති හරහා සමාජ සාධාරණත්වය ඇති කරන්නට හදන හැම විටකම මිනිස්සු මේ නීතිරීති මඟහැර වාසි ලැබිය යුතු ක්‍රම සොයති. ජනප්‍රිය පාසැල් අසලින් ගෙවල් කුලියට ගෙන, ඡන්ද ලැයිස්තු වල නම් වෙනස් කරගෙන, ආදිශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කරමින්, මුදල් හා ලිංගික අල්ලස් ලබා දෙමින් දෙමවුපියන් විසින් උත්සාහ කරන්නේ පවතින නීතිරීති වලින් කෙසේ හෝ රිංගා තමන්ගේ දරුවන්ට පුළුවන් තරම් හොඳ පාසැලක් ලබාගැනීමටය. අයෙක් එසේ කරන හැම විටකම තවත් දරුවෙකුගේ අවස්ථාව නැති වේ. ඇතැම් අය කියනාවක් මෙන් "සමාජයේ සෑම දරුවෙකුම තමන්ගේ දරුවන් මෙන් සිතන" දෙමවුපියන් සිටින්නේ ආගම් ලෙස අදහන දේශපාලනික විශ්වාස තුළ පමණි. මිනිසුන්ගේ මේ ස්වභාවය වෙනස් වන තෙක් එය නොතකා හදන සැලසුම් සාර්ථක වන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවේ විෂමතාවයන් අඩුවී ඇතැයි යමෙකු සිතනවානම් එය බොරුවක් නොවුවත්, ඔය කියන දෙය මහා ලොකුවට සිදු වී නැත. ඇත්තටම සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට පෙර පැවති විෂමතාවයන් තවදුරටත් පවත්වාගෙන යා හැකි පරිදි ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිණාමය වී තිබීමයි.

(Image: http://www.sipsala.com/)

Monday, July 24, 2017

අධ්‍යාපනය අයිතියක් වන්නේ කෙසේද?


පසුගිය ලිපියෙන් මා ඉදිරිපත් කළේ රජය විසින් ලබා දෙන මූලික අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳව තේරුම් ගැනීම පහසු කරන ආකෘතියක් හා අදාළ ආකෘතිය අනුසාරයෙන් සකස් කළ දළ ඇස්තමේන්තුවකි. එම ඇස්තමේන්තුව අනුව, රජයේ පාසැල් හරහා ලබාදෙන වසරක අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන වියදම රුපියල් 24,550ක් පමණ වේ.

ආකෘති උපයෝගී කර ගන්නේ සංකීර්ණ සිදුවීමක් සරලව තේරුම් ගැනීම සඳහාය. ඉහත ඇස්තමේන්තුව පිළියෙළ කිරීමේදීද සරල උපකල්පන ගණනාවක් සිදු කර ඇති නිසා මගේ ඇස්තමේන්තුව පරිපූර්ණ එකක් නොවේ. එහෙත්, එය එසේ නොවීම ලිපියෙන් පෙන්වා දුන් මූලික කරුණ පැහැදිලි කිරීමට බාධාවක් නොවේ.

ඇතැම් අය සිතා සිටිනවාක් මෙන් කිසිවෙකුටත් රජයෙන් "පිනට" අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. අධ්‍යාපනය වෙනුවෙන් රජය විසින් වැය කරන හැම සතයක්ම රජය විසින් රටේ පවුල් ඒකක වලින් අය කර ගෙන තිබේ. ඇත්තටම සිදුවන්නේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වැනි "නොමිලේ" දෙන බව ඇතැම් අය විශ්වාස කරන කැරට් අල පෙන්වමින් රජය විසින් ඒ දේවල් වෙනුවෙන් වැය කරන මුදලටත් වඩා මුදලක් ආපසු ලබා ගැනීමයි. අධ්‍යාපනය විකිණීම රජයට විශාල ලාභයක් ලබා දෙන ව්‍යාපාරයකි. මේ ගැන පැහැදිලි කිරීම ඉදිරියට තබා අපි පෙර ලිපියෙන් මතු කළ මූලික කරුණටම නැවත ආපසු එමු.

-රජය කිසියම් වසරක් තුළ පාසැල් වයසේ දරුවන්ට අධ්‍යාපන සේවා සැපයීම වෙනුවෙන් කිසියම් නිශ්චිත මුදලක් වැය කරයි.
-මේ මුදල අදාළ වසර තුළ මේ දරුවන් විසින් රජයට ගෙවන්නේ නැත. එහෙත්, රජය විසින් මේ මුදල එම දරුවන්ගේ දෙමවුපියන්ගෙන් හා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් අදාළ වසර තුළදීම බදු ලෙස අය කර ගනී. ඒ නිසා, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජනයේ බරපැන දරන්නේ ඔවුන්ගේ වැඩිහිටි පරම්පරා වල පුද්ගලයින් විසින් මිස "රජය" හෝ "පොදු සමාජය" නම් වූ අතාත්වික පුද්ගලයෙකු විසින් නොවේ.
-දෙවන අදියරේදී, මේ දරුවන් වැඩිහිටියන් වී ආදායම් උපදවන විට රජය විසින් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල ඉක්මවන මුදලක් නැවත වටයකින් බදු ලෙස අය කර ගනී. ඊළඟ පරම්පරාවේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන්නේ මේ මුදල්ය.

මේ අනුව, ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ දෙමවුපියන් විසින් වියදම් කරන්නට ඉඩ තිබුණු මුදල් රජය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබට ලබා දී තිබේ. දෙමවුපියන්ගේ මුදල් රජය විසින් පැහැර ගැනීම මඟින් ඔවුන්ට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබට ලබා දීමට තිබුණු අවස්ථාව රජය විසින් නැති කර තිබේ.

පසුව ඔබ විසින් ආදායම් උපයන විට එයින් කොටසක් ඔබෙන් පැහැර ගන්නා රජය විසින් ඒ මුදල් වැය කර රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබේ දරුවන්ට ලබා දෙයි. ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔබට අවශ්‍යනම් ඔබට ඒ සඳහා තවත් අමතර මුදල් වැය කරන්නට සිදු වේ. 

ඔබ හෝ ඔබේ දරුවා "පිනට" ඉගෙනගෙන නැත. ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑවටත් වඩා මුදලක් ඔබ විසින් දැනටමත් රජයට ගෙවා තිබේ. එසේ නැත්නම්, ඔබගේ දෙමවුපියන් විසින් ගෙවා තිබේ. 

මිනිස් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී සෑම විටම සිදුවන්නේ පැරණි පරම්පරාව විසින් අලුත් පරම්පරාවේ වියදම් දැරීමයි. අධ්‍යාපන සේවා වෙළඳපොළට රජය මැදිහත් වූවද නොවූවද මෙය සිදුවන්නේ එකම ආකාරයෙනි. රජය මැදිහත් වූ විට සිදුවන්නේ අලුත් පරම්පරාවේ වියදම පැරණි පරම්පරාවේ පුද්ගලයන් විසින් ස්වේච්ඡාවෙන් දරනු වෙනුවට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් උදුරාගනු ලැබීමයි.

ඇතැම් අයට මේ ආකෘතියේ ප්‍රශ්නයක් තිබෙන බව පෙනේ. මෙය හැමවිටම සිදුවන්නේ මේ ආකාරයෙන්නම් පළමු පරම්පරාවේ වියදම් දැරුවේ කවුද?

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන විට පැවති තත්ත්වය බොහෝ දෙනෙකු නොදන්නා දෙයක් විය නොහැකිය. ලංකාවේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම වසර දහස් ගණනක් තිස්සේ (පන්සල් මූලිකව) සිදුවුවත්, වත්මන් පාසැල් අධ්‍යාපන ආකෘතිය ආරම්භ කළේ ක්‍රිස්තියානි මිෂනාරීන් විසිනි. රාජ්‍යමූලික නිදහස් අධ්‍යාපන ආකෘතිය යෝජනා වන විට ලංකාව පුරා විසිරුණු මිෂනාරි පාසැල් පද්ධතියක් තිබුණේය. මේ පාසැල් සතුව සැලකිය යුතු තරමක භෞතික සම්පත් ප්‍රමාණයක්ද තිබුණේය.

මා විසින් වැඩි හැදෑරීමක් කර නැති නිසා නිවැරදි නොවිය හැකි වුවත්, මා දන්නා තරමින් මේ පාසැල් පද්ධතිය වැඩි දියුණු වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එකතු කරගත් බදු මුදල් යොදවමින් නොව අදාළ එක් එක් ක්‍රිස්තියානි ආගමික නිකාය සතු අරමුදල් යොදවමිනි. ගාල්ලේ රිච්මන්ඩ් විදුහල වැනි ඇතැම් මිෂනාරි පාසැල් ආරම්භ කෙරුණේ උඩරට ගිවිසුම අත්සන් කරන්නටත් පෙරය. 

මේ පාසැල් වෙනුවෙන් අරමුදල් වැඩි ප්‍රමාණයක් යෙදවූයේ බටහිර රටවල ජීවත් වූ අදාළ පල්ලි වල දායකයින් විසිනි. ඒ නිසා, මේ ආයෝජන වෙනත් ලාභ අපේක්ෂා නොකර ස්වර්ග සම්පත් පතා කළ ආයෝජන ලෙස සැලකිය හැකිය. ඒ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපනය ලැබීම හා අදාළවනම් "පිනට ඉගෙන ගැනීම" කියා කීමේ එතරම් වරදක් නැත. පසුකාලීනව පරමවිඥාර්ථ සමාගම වැනි ආයතන මේ ආකෘතියේම අධ්‍යාපනයක් ලබා දුන්, එහෙත් මතුපිටින් බෞද්ධ වූ, පාසැල් ගණනාවක්ද ආරම්භ කළේය. මේ පාසැල් වෙනුවෙන් සිදු කළ ආයෝජනද "පිං පිණිස" කළ ඒවාය.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන විට සැලකිය යුතු තරම් භෞතික සම්පත් ප්‍රමාණයක් හා උපයාගත් කීර්තිනාම තිබුණු ක්‍රිස්තියානි හා බෞද්ධ පෞද්ගලික පාසැල් විශාල ගණනක් රටේ තිබුණේය. මේ පාසැල් වලින් සීමිත ගණනක් හැර ඉතිරි ඒවා රජයට පවරා ගැනුණේය. එයින් අනතුරුව රජය විසින් රට පුරා පැතිරුණු මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් ඇතුළු තවත් පාසැල් ගණනාවක් අලුතින් හැදුවේය. මේ අලුත් පාසැල් වෙනුවෙන් මෙන්ම රජයට පවරාගත් පැරණි පාසැල් නඩත්තුව වෙනුවෙන්ද බදු මුදල් වැය කෙරුණේය.

නිදහස් අධ්‍යාපන සංකල්පය ආරම්භ වූ අලුත රජය මඟින් මුදල් අය නොකර ලබාදුන් අධ්‍යාපනයේ බර දැරුවේ එවකට වැඩිහිටියන් වූ පරම්පරාවයි. එහෙත්, ඔවුහු රජය මඟින් නොමිලේ ලබාදුන් අධ්‍යාපනයක් ලබා නොසිටියහ. ඒ නිසා, ඉතා පැහැදිලිවම, ඒ පරම්පරාවට වෙනත් අයෙකුට ගෙවිය යුතු සදාචාරාත්මක ණයක් නොතිබුණේය. 

රජය මඟින් නොමිලේ අධ්‍යාපනය ලබා නුදුන්නේනම්, මේ පළමු පරම්පරාවේ සෑහෙන පිරිසක් තමන්ගේ මුදල් වැය කර තමන්ගේ දරුවන්ට තමන් හොඳයැයි සිතන ආකාරයේ අධ්‍යාපනයක් ලබා දිය හැකිව තිබුණේය. එහෙත්, රජය විසින් ඒ කාර්යය භාර ගැනුණු අතර, ඒ වෙනුවෙන් වැය වන මුදල් බදු වශයෙන් ඒ පරම්පරාවේ අයගෙන් එකතු කරගනු ලැබුවේය. 

මේ අනුව, රජය මඟින් මුදල් අය නොකර ලබා දුන් අධ්‍යාපනය ලබාගත් පළමු පරම්පරාවේ අය ඒ සඳහා ණයගැති විය යුත්තේ ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට හා ලංකාවේ පාසැල් වෙනුවෙන් පිං පිණිස මුදල් යෙදවූ අයටය. රජය මැදිහත් නොවී, පාසැල් ආගමික සංවිධාන යටතේම පැවතියද මේ තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැත.

මෙසේ රජය විසින් මුදල් අය නොකර ලබාදුන් පාසැල් අධ්‍යාපනය ලැබූ පළමු පරම්පරාවේ අය වැඩිහිටියන් වී මුදල් උපයන්නට පටන් ගත් විට, ඔවුන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම හේතුවක් ලෙස පෙන්වමින් රජය ඔවුන්ගෙන් බදු මුදල් අය කරගත්තේය. පරම්පරා කිහිපයක් තිස්සේ මෙය මේ අයුරින්ම සිදු වී තිබේ.

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් රජය හරහා සිදුවන්නේ දෙමවුපියන් විසින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොහොමටත් සිදු කරන ආයෝජනය රජයේ ඒකාධිකාරයට යටත් කර තිබීම පමණි. මේ ක්‍රමය අද වන විට විකාශනය වී ඇති ආකාරය අනුව, රජය විසින් ඔබේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයට වඩා හොඳයැයි ඔබ සිතන විකල්ප අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දීමේ අවස්ථාව දැන් ඔබට තිබේ. එහි මිල ඔබ ගෙවිය යුතුය. එයට අමතරව, රජය හරහා ඔබේ දරුවා වෙනුවෙන් ඔබට ලබාගත හැකිව තිබුණු අධ්‍යාපනයේ මිලද, එය ඔබ විසින් ලබා නොගත්තත්, ඔබට ගෙවන්නට සිදු වේ. ඔබ ආදායම් උපයන තරමට හා වියදම් කරන තරමට වැඩි වැඩියෙන් රජයට බදු ගෙවන්නට ඔබට සිදුවේ. එයින් ඔබට කිසිදු ගැලවීමක් නැත.

පෙර ලිපියේ මා ඉදිරිපත් කළ එක් සිසුවෙකු වෙනුවෙන් එක් වසරකට රජය විසින් වැය කරන (එම සිසුන්ගේ දෙමවුපියන්ගෙන්  අය කෙරෙන) මුදල දළ ඇස්තමේන්තුවක් පමණි. පෙර ලිපියේ විස්තර කළ සම්පූර්ණ ආකෘතියම තේරුම් ගැනීමට උදවු නොකරන නමුත්, ඉහත මුදල ඇස්තමේන්තු කළ හැකි වඩා සරල ක්‍රමයක් වන්නේ රජයේ අධ්‍යාපන සේවා පිරිවැය ඇස්තමේන්තු මුදල රජයේ පාසැල් වල ඉගෙන ගන්නා සිසුන් ගණනින් බෙදීමයි. 2016 සිසුන් ගණනින් බෙදූ විට, 2017 වසර සඳහා එක් සිසුවෙකුගේ බරපැන රුපියල් 18,570කි. 2016 වසර සඳහා එම මුදල රුපියල් 60,939කි.

මේ වසරේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය සැලකිය යුතු තරමින් අඩු කර ඇතත්, ඉහත සංඛ්‍යා දෙක මෙතරම්ම විශාල ලෙස වෙනස් වෙන්නේ 2016 වසරේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබූ ආකාරයේ වෙනසක් නිසාය. කෙසේවුවද, ඒ වෙනස මේ ලිපියේ පෙන්වාදෙන කරුණට අදාළ වෙනසකි.

පළමු සංඛ්‍යාව, පදනම් වන්නේ පාසල් නඩත්තුව වෙනුවෙන් රජය වසර තුළ වැය කරන මුදල මතය. දෙවන සංඛ්‍යාවට, ඊට අමතරව, ලංකාවේ පාසැල් සතුව දැනට ඇති භෞතික ප්‍රාග්ධනයේ වාර්ෂික ප්‍රයෝජ්‍ය වටිනාකමද එකතු කර තිබේ. මේ සංඛ්‍යා පහත විස්තර කර ඇති අයුරින් පැහැදිලි කළ හැකිය.

අනෙක් සියලු තත්ත්වයන් නොවෙනස්ව තිබියදී, රජය විසින් ලංකාවේ සිසුන්ට පාසැල් අධ්‍යාපනය ලබා නොදෙන්නේනම් පාසැල් නඩත්තුව වෙනුවෙන් වැය කරන මුදල පමණක් යොදාගෙන එක් සිසුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට රුපියල් 18,570ක මුදලක් ගෙවිය හැකිය. ඒ, 2017 ඇස්තමේන්තුව හා 2016 සිසුන් ගණන සැලකූ විටය. 2016 ඇස්තමේන්තුව හා සිසුන් ගණන සැලකූ විට මේ මුදල රුපියල් 30,876කි.  ඊට අමතරව, රාජ්‍ය පාසැල් පද්ධතිය සතුව ඇති ගොඩනැඟිලි, ක්‍රීඩාංගන ආදිය වසරක කාලයක් සඳහා බදු දීම මඟින් උපයාගත හැකි ආදායමද මෙසේ බෙදාදෙන්නේනම් රජයට එක් සිසුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට රුපියල් 60,939ක මුදලක් ගෙවිය හැකිය.

ලංකාවේ පාසැල් පද්ධතිය වහාම පෞද්ගලීකරණය කළ යුතුයැයි මා කිසිසේත්ම යෝජනා කරන්නේ නැත. එහෙත්, රජය විසින් එසේ කළේයැයි අපි මොහොතකට හිතමු. දැන් රජයට රජය සතු භෞතික සම්පත් අධ්‍යාපන සේවා සපයන පෞද්ගලික ව්‍යවසායකයන්ට බදු දෙන්නට පුළුවන. එසේ කර උපයන මුදල් හා දැනට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන (බදු හරහා උපයා ගන්නා) මුදල් සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට ලබා දුන්නොත් එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් 60,939ක මුදලක් ඔවුන්ට ලැබේ.

ඉහත උපකල්පිත තත්ත්වය යටතේ ලාභ පිණිස හෝ ලාභ අරමුණු කර නොගෙන පාසැල් අධ්‍යාපන සේවා ලබා දෙන ව්‍යවසායකයින් ඕනෑ තරම් බිහිවනු ඇතැයි සිතිය හැකිය. රජයට අවශ්‍යනම් මේ අධ්‍යාපන සේවා සපයන්නන්ට නියාමන රාමුවක් හඳුන්වා දී, දැන් රජයේ පාසැල් වල නැති පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ආදිය තිබිය යුතු බව අනිවාර්ය කරන්නට වුවද පුළුවන. ගුරුවරුන්ගේ අවම සුදුසුකම් ආදියද ඒ අයුරින්ම නියම කරන්නට පුළුවන. එසේ කළහොත් කුමක් සිදුවනු ඇත්ද?

රජයේ පාසැල් දැනට පවත්වාගෙන යන භෞතික පහසුකම් කුලියට ගෙන ඒ සඳහා රජයට මුදල් ගෙවා, ගුරුවරුන්ට දැනට වඩා වැඩි වැටුප් හා සිසුවන්ට වැඩි පහසුකම්ද සපයා, සිසුවකු වෙනුවෙන් දෙමවුපියන්ගෙන් 60,939ක මුදලකට වඩා අඩු මුදලක් අය කිරීමෙන් පසුවද තමන්ට සැලකිය යුතු ලාබයක් ලබන්නට සමත්වන ව්‍යවසායකයින් සිටිනු ඇති බව ඉඳුරාම කිව හැකිය.

මෙහිදී අධ්‍යාපනය ව්‍යවසායකයින්ගේ අතට යන අතර ඔවුන් ලාබ ලබනු ඇත. එහි කතා දෙකක් නැත. එහෙත්, ඒ අතරම සිසුන්ට දැනට වඩා වැඩි පහසුකම් හා අධ්‍යාපනයක්ද, ගුරුවරුන්ට වැඩි වැටුප්ද හිමි වෙද්දී දෙමවුපියන්ගේ අතේ කිසියම් අමතර මුදලක්ද ඉතිරි වනු ඇත. 

තත්ත්වය මෙසේ තිබියදීත් රජය විසින් අධ්‍යාපන සේවා සැපයීම මා විසින් අධෛර්යමත් නොකරන්නේ, මෙපමණ අකාර්යක්ෂම වූවත්, රජය විසින් කරන වෙනත් බොහෝ කටයුතු වලට වඩා අධ්‍යාපන සේවා සැපයීම කාර්යක්ෂමයැයි මා සිතන බැවිනි.

අධ්‍යාපනය අයිතියකි. එහෙත්, එය එසේ වන්නේ කාගේ හෝ ආගමික නායකයෙක් එසේ කියා ඇති නිසා හෝ වසර දෙතුන් සියයකට පෙර ලියැවී ඇති කිසියම් ආගමික ලියවිල්ලක එසේ ලියැවී ඇති නිසා නොවේ. ඔබ කැමති වුවත්, අකැමැති වුවත්, ඔබේ දරු මුණුපුරන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා රජය විසින් ඔබෙන් මුදල් අය කරගන්නා බැවිනි. එමෙන්ම, ඔබ මිය යන තුරුද එසේ අය කර ගැනීමට නියමිත බැවිනි.

ඔබ පාන් ගෙඩියක් සඳහා මුදල් ගෙවූ විට කල් ඉකුත් නොවූ පාන් ගෙඩියක් ලබා ගැනීමේ අයිතිය ඔබට තිබේ. ඔබ දුම්රිය ප්‍රවේශපත්‍රයක් මිලදී ගත් විට ගමනාන්තය දක්වා යාමේ අයිතිය ඔබට තිබේ. ඒ අයුරින්ම, ඔබ විසින් රජයට ගෙවා ඇති මුදලට සරිලන අධ්‍යපනයක් ඔබේ දරුමුණුපුරන් වෙනුවෙන් ලබා ගැනීම ඔබේ අයිතියකි. කණගාටුවට කරුණ වන්නේ වෙළෙන්දා රජය වූ විට, බඩුව මුදලට නොවටින්නේ වුවත්, වෙන කඩයකට යාමේ නිදහස ඔබට නැති වීමයි.
 
(Image: http://www.globaljustice.org.uk/news/2015/oct/15/british-aid-private-schools-could-violate-human-rights-says-international-coalition)

Sunday, July 23, 2017

නිදහස් අධ්‍යාපනය නොතිබුණානම්...



ලංකාවේ බොහෝ දෙනෙක් බොහෝ විට කියනු ඇසිය හැකි කරුණක් වන්නේ නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් තමන් දැන් සිටින තැනට එන්නට නොලැබෙනු ඇති බවයි. අවස්ථා සීමා වී ඇති බව කවුරුත් දන්නා උසස් අධ්‍යාපනය පැත්තකින් තිබ්බත්, සාමාන්‍ය පිළිගැනීම අනුව ලංකාවේ ඕනෑම දරුවෙකුට පාඨමාලා ගාස්තු නොගෙවා වසර 13ක මූලික අධ්‍යාපනයක් රජය මඟින් පාලනය කෙරෙන පොදු පාසැල් පද්ධතිය හරහා ලබා ගැනීමේ අවස්ථාව තිබේ. ඊට අමතරව, පෙළ පොත්, පාසැල් නිල ඇඳුම් ආදියද සිසුන්ට නොමිලේ ලැබේ.

ඉහත සඳහන් "නොමිලේ දෙන" දේවල් වෙනුවෙන් රජය පිරිවැයක් දැරිය යුතුය. මේ (2017) වසරේ අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් ලෙස රජය විසින් ඇස්තමේන්තු කර ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 76,943.7කි. රජය විසින් මෙසේ වියදම් කරන්නේ රටේ ජනතාවගෙන් බදු ලෙස අය කරගන්නා මුදල් නිසා අවසාන වශයෙන් නිදහස් අධ්‍යාපනයේ පිරිවැය වැටෙන්නේ රටේ ජීවත්වන මිනිසුන් මතමය. ලංකාවේ ජනගහණය මිලියන 21.2ක්  සැලකූ විට, මූලික අධ්‍යාපන පිරිවැය ලෙස රටේ එක් පුද්ගලයෙකු වසරකට ගෙවන මුදල රුපියල් 3,630ක් පමණ වේ. ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75ක් පමණ බව සැලකූ විට, එක් පුද්ගලයෙකු විසින් සිය ජීවිතකාලය තුළ මූලික අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන පිරිවැය, අද මුදලින්, රුපියල් 272,000ක් පමණ වේ.

ඉතා සරල ලෙස කියනවානම් රජය විසින් ලබාදෙන මූලික අධ්‍යාපනය නොලැබේනම්, ජීවිත කාලය තුළ, එක් පුද්ගලයෙකු අතේ රුපියල් 272,000ක් ඉතිරි වේ. රජය මඟින් ලබා දෙන අධ්‍යාපනයේ වටිනාකම සැසඳිය යුත්තේ මෙසේ ගෙවන මුදලට සාපේක්ෂවය. ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම ගෙවන මුදලට වඩා වටීනම් එයින් අදහස් වන්නේ මූලික අධ්‍යාපනය ලබා දීමේදී  රාජ්‍ය යාන්ත්‍රනය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවයි. එසේ නොවේනම්, එයින් අදහස් වන්නේ රජය අකාර්යක්ෂම බවයි. 

මෙසේ එක් පුද්ගලයෙකු විසින් ගෙවන රුපියල් 272,000ක මුදල වෙනුවෙන් ඔහුට හෝ ඇයට ආපසු ලැබෙන්නේ මොනවාද?

ලංකාවේ නීතිය අනුව වයස 14 වන තුරු පාසැල් අධ්‍යාපනය අනිවාර්යය වේ. ඒ නිසා, ඒ වයස් කාණ්ඩයේ දරුවෝ විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබති. කෙසේවුවද, මේ ප්‍රමාණය 100%ක් නොවේ. අනිවාර්ය පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාවෙන් පසුව පාසැල් හැර යන ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටේ. මේ සඳහා හේතු වන කරුණු කෙරෙහි මේ ලිපියේ අවධානය යොමු නොකරන නමුත් කරුණක් ලෙස අවධාරණය කළ යුත්තේ වසර 13ක පාසැල් අධ්‍යාපනයක් නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම තිබුණත්, එය ඒ අයුරින්ම සිදු නොවන බවයි.

ලංකාවේ එක් එක් වයස් කාණ්ඩ වල දරුවන්ගෙන් පාසැල් යන ප්‍රතිශතය පහත පරිදිය.

වයස අවුරුදු 6-10 - 99.2%
වයස අවුරුදු 11-14 - 98.3%
වයස අවුරුදු 15-16 - 86.1%
වයස අවුරුදු 17-18 - 59.8%

මේ අනුව, ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත පාසැල් කාලය වසර 11.8කි. මෙය මුළු පාසැල් වසර ගණන වන අවුරුදු 13න් 90.85%කි. 

සෑම ශ්‍රී ලාංකිකයෙකුම අධ්‍යාපනය ලබන්නේ රජය මඟින් පාලනය කරන පොදු පාසැල් පද්ධතිය තුළ නොවේ. මේ වන විට, ලංකාවේ පෞද්ගලික පාසැල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසැල් වැනි විකල්ප ගණනාවක් තිබේ. 2014 වසරේදී ලංකාවේ සිසුන් 4,345,810ක් අතරින් රජයේ පාසැලක ඉගෙනුම ලැබූ සිසුන් ගණන 4,077,989ක් පමණි. මේ අනුව, කිසියම් ලාංකික සිසුවෙකු රජය මඟින් පාලනය වන පොදු පාසැලක් තුළ සිටීමේ සම්භාවිතාව 0.9384ක් හෙවත් 93.84%ක් වේ.

කිසියම් හෝ පාසැලක ඉගෙනුම ලබන්නේ පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 90.85කි. රජයේ පාසැල් තුළ සිටින්නේ ඔවුන්ගෙන් 93.84ක් හෙවත් පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 85.25%කි. මේ අනුව, එක් ශ්‍රී ලාංකිකයෙකු විසින් රජයෙන් ලබා ගන්නා පාසැල් අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් වසර 11.08කි.

දැන් අපට සැසඳීමක් කිරීම වඩා පහසුය. එක් ශ්‍රී ලාංකිකයෙකු විසින් ජීවිත කාලය තුළ රජයට ගෙවන රුපියල් 272,000ක මුදල වෙනුවෙන් රජයෙන් වසර 11.08ක පාසැල් අධ්‍යාපනයක් ආපසු ලබාගනී. මේ අනුව, එක් පුද්ගලයෙකු එක් පාසැල් වසරක් වෙනුවෙන් රජයට ගෙවන මුදල රුපියල් 24,550ක් පමණ වේ.

දැන් අපට මූලික අධ්‍යාපනය ලබාදීමේදී රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වෙනත් අයුරකින් ඇසිය හැකිය. රජය මඟින් බදු මුදල් අය කරගැනීමෙන් අනතුරුව, කිසියම් සිසුවෙකුට පහත විකල්ප දෙක ලබා දෙන්නේයැයි සිතමු. පළමු විකල්පය වන්නේ දැන් සිදුවන පරිදි රජය මඟින් පාලනය වන පොදු පාසැල් පද්ධතියෙන් අධ්‍යාපනය ලබා ගැනීමයි. දෙවන විකල්පය වන්නේ රජය විසින් එක් සිසුවෙකුට ලබාදෙන වසරකට රුපියල් 24,550ක මුදලක් ලබාගෙන වෙනත් තැනකින් පාසැල් අධ්‍යාපනය ලබා ගැනීමයි. රටේ බොහෝ දෙනෙක් මේ රුපියල් 24,550ක මුදල ලබා නොගෙන රජය මඟින් පාලනය වන පොදු පාසැල් පද්ධතියෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ විකල්පය කෙරෙහි යොමු වනවානම් එයින් අදහස් වන්නේ රජය විසින් කාර්යක්ෂම ලෙස මූලික අධ්‍යාපනය ලබාදෙන බවයි.

රටේ ප්‍රධාන නගරයක ඇති ජනප්‍රිය පාසැලකින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලැබෙන අයෙකුට වසරකට රුපියල් 24,550 ඉක්මවන වටිනාකමක් ඇති අධ්‍යාපනයක් ලැබෙන්නේයැයි අපට සිතිය හැකිය. එමෙන්ම, ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබීම සඳහා වසරකට ගෙවිය යුතු ගාස්තුව ඉහත මුදල ඉක්මවන බව මගේ අදහසයි. එවැනි අවස්ථා සැලකූ විට අධ්‍යාපනය ලබාදීමේදී රජය කාර්යක්ෂමය. කෙසේ වුවද, ගුරුවරු සීමිත ගණනක් සිටින, පානීය ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසැල් විශාල ගණනක් ඇති ලංකාවේ 'සාමාන්‍ය' පාසැලක වසරක අධ්‍යාපනය මේ මුදලට තරම් වන්නේද යන්න සැක සහිතය. 

රජය මඟින් ලබාදෙන වෙනත් බොහෝ සේවාවන් මෙන්ම අධ්‍යාපන සේවා සැපයුමද අකාර්යක්ෂම විය හැකි වුවත්, මගේ අදහස වනුයේ අධ්‍යාපන සේවා සැපයීම රජය විසින් කරන වෙනත් කටයුතු වලට සාපේක්ෂව අඩුවෙන් අකාර්යක්ෂම බවයි. එයට එක් හේතුවක් වන්නේ අධ්‍යාපන සේවා සැපයුම පිළිබඳ තීරණ වලට හැටදහසක පමණ පිරිසකගේ දායකත්වය සෘජුව ලැබීමයි. මෙයට අමතරව දෙමවුපියන්, ආදිසිසුන් ආදී කණ්ඩායම් වල වක්‍ර දායකත්වයද මේ තීරණ වලට බලපායි. තමන්ට හොඳම දේ සොයන වැඩි දෙනෙකුගේ අදහස් එකිනෙක ගැටීම (අතළොස්සක පිරිසක් විසින් තීරණ ගැනීමට සාපේක්ෂව) කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වේ. ඒ හේතුව නිසා රජයේ පාසැල් පද්ධතිය හරහා අධ්‍යාපන සේවාවන් සිසුන් වෙත ලබාදීම (delivery of education) සාපේක්ෂව කාර්යක්ෂම වුවත් ලබාදෙන අධ්‍යාපනයේ ස්වභාවය (what to be delivered) තීරණය කරන්නේ විෂය මාලා සංවර්ධනය භාරව සිටින සීමිත පිරිසක් විසින් නිසා තමන් ඉගෙනගත යුතු දේ පිළිබඳවනම් සිසුන්ට ලොකු තේරීමක් නැත.

(Image: https://www.adb.org/news/features/linking-education-jobs-sri-lanka)

Thursday, July 20, 2017

පොලීසිය තවමත් හිටපු තැනමද?


සයිටම් විරෝධය අනවශ්‍ය දුරකට දිග්ගැසෙමින් පවතින බව මගේ පෞද්ගලික අදහසයි. රජය පැත්තෙන් සෑහෙන තරම් නම්‍යශීලී වී සිටියදීද සයිටම් විරෝධීන් සුළුවෙන් හෝ නම්‍යශීලී වන්නට සූදානම් නැත. එහෙත්, ඒ මා මෙය දකින ආකාරයයි. සියළු දෙනාම මා සිතන අයුරින් සිතිය යුතු නැත. සයිටම් යනු විශාල ප්‍රශ්නයක් ලෙස සිතන සැලකිය යුතු පිරිසක් සිටින අතර සයිටම් විරෝධය නොතකා හැරිය යුතු තරම් සිල්ලර එකක් නොවේ.

අවංකවම සයිටම් යනු විශාල පෞද්ගලික හෝ පොදු ප්‍රශ්නයක් සේ දකින අයට පමණක් නොව කිසියම් දේශපාලන අරමුණක් ඇතිව මේ විරෝධය හා බද්ධ වී සිටින අයට පවා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් තිබේ. අනුමත කළ නොහැක්කේ මෙවැනි විරෝධතා පොදු දේපොළ විනාශ කරන මට්ටමකට යාම පමණි.

පොලීසිය විසින් සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට දරන උත්සාහයක් සිසුන් එක්ව ව්‍යවර්ථ කරන අවස්ථාවක වීඩියෝ දර්ශන මේ වන විට වත්පොතේ වේගයෙන් පැතිරෙමින් තිබේ. ඉතා පැහැදිලිවම, මේ උත්සාහය සමාන කළ හැක්කේ අත් අඩංගුවට ගැනීමකට වඩා පැහැර ගැනීමකටය. සිසුවා අත් අඩංගුවට ගැනීමට පැමිණෙන පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුම් වලින් සැරසී සිටින අතර ඇතැම් අය රැවුල් වවා සිටිති. මේ අය පොලිස් බුද්ධි අංශ වලට සම්බන්ධ නිලධාරීන් විය හැකිය.

හරියටම දන්නේ නැතත්, මෙසේ අත් අඩංගුවට ගැනීමට සැරසෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු දේපොළ හානි කිරීම සම්බන්ධව චෝදනා ලබා ඇති සිසුවෙකු විය හැකිය. එවැනි සිදුවීම් අධෛර්යමත් කිරීම සඳහා සිද්ධියට සම්බන්ධ වූ සිසුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුය. එහෙත්, මේ සිදුවීම දේශපාලනික කරුණක් අරභයා පැවති විරෝධතා සටනකදී සිදුවූ දෙයක් බවද අමතක නොකළ යුතුය.

මේ වරද හා අදාළව සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට පෙර වරෙන්තුවක් පෙන්වීම අවශ්‍ය කරුණක් නොවිය හැකිය. එමෙන්ම, ඇතැම් වරදකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මෙවැනි උපාය මාර්ග අනුගමනය කිරීමට සිදුවනවාද විය හැකිය. එහෙත්, මේ අවස්ථාවේදී නිල ඇඳුම් රහිතව පැමිණ විරෝධතා සටනකදී පොදු දේපොළ හානි කිරීමට චෝදනා ලබා සිටින සිසුවෙකු (මා හිතන පරිදි) අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පොලීසිය විසින් අනවශ්‍ය දුරක් යාමකි.

පොදු දේපොළ හානි කිරීම වරදක් වුවත්, විරෝධතා සටනකදී වරක් එසේ කළ අයෙකු නිදැල්ලේ සිටීම මිනීමරුවෙකු හෝ ස්ත්‍රී දූෂකයෙකු නිදැල්ලේ සිටීම තරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එවැනි චෝදනාවක් ලබා සිටින අයෙකු නිල ඇඳුම් රහිතව පැමිණ අත් අඩංගුවට ගැනීමෙන් පසුව, පොලීසියට තමන් එවැනි අත් අඩංගුවට ගැනීමක් නොකළ බව කියන්නට හැකියාව තිබේ. එවැනි සිදුවීම් ලංකාවට නුහුරු දේ නොවේ. යම් හෙයකින් මේ අවස්ථාවේ එසේ සිදු නොවුනද, පොලීසිය විසින් කරන එවැනි එක් අත් අඩංගුවට ගැනීමක් වෙනත් අයටද සිසුන් පැහැර ගැනීමට ඉඩකඩ සලසයි. එය හොඳ තත්ත්වයක් නොවේ. පොලීසිය විසින් මේ ආකාරයේ අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමෙන් විය හැකි සමස්ත හානිය චෝදනා ලබා සිටින සිසුවා නිදැල්ලේ සිටීමෙන් සිදුවන හානියට වඩා බොහෝ වැඩිය.

අනෙක් අතර මෙවැනි සිදුවීම් වලින් වෙන්නේ සයිටම් විරෝධී සටනට ඉන්ධන හෙලනු ලැබීම හා විරෝධතාකරුවන්ට විරෝධය දැක්වීමට තවත් කරුණු හදා දීමකි. සයිටම් විරෝධය දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය අය අතර වෙනස් දේශපාලනික අරමුණු ඇති විවිධ කණ්ඩායම් සිටින්නට පුළුවන.

https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1038730942934020/

(Image: http://www.salem-news.com/articles/february262012/white-vans.php)

Tuesday, July 18, 2017

ආණ්ඩුව වෙසක් පෝය වරද්දලාද?


ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2018 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දින නියම කරමින් (සාමාන්‍යයෙන් කරන පරිදි) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ අනුව, 2018 වසරේ පෝය නිවාඩු දිනයන් මෙසේය.

ජනවාරි 01- දුරුතු පුර පසළොස්වක
ජනවාරි 31- නවම් පුර පසළොස්වක
මාර්තු 01- මැදින් පුර පසළොස්වක
මාර්තු 31- බක් පුර පසළොස්වක
අප්‍රේල් 29- වෙසක් පුර පසළොස්වක
මැයි 29- පොසොන් පුර පසළොස්වක
ජූනි 27- අධි පොසොන් පුර පසළොස්වක
ජූලි 27- ඇසළ පුර පසළොස්වක
අගෝස්තු 25- නිකිණි පුර පසළොස්වක
සැප්තැම්බර් 24- බිනර පුර පසළොස්වක
ඔක්තෝබර් 24- වප් පුර පසළොස්වක
නොවැම්බර් 22- ඉල් පුර පසළොස්වක
දෙසැම්බර් 22- උඳුවප් පුර පසළොස්වක

මේ අනුව, 2018 වෙසක් පෝය එළැඹෙන්නේ අප්‍රේල් මාසයේදීය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් ජනවාරි 31 අධි දුරුතු පුර පසළොස්වක ලෙස නම් කර නවම්, මැදින්, බක්, වෙසක් හා පොසොන් පෝය දින ඉදිරියට තල්ලු කර "වෙසක් පෝය අප්‍රේල් මාසයට වැටීමෙන් සිදු වී ඇති අවුල" නිවැරදි කළ යුතු බව යෝජනා කර තිබේ.

සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සෘජු සම්බන්ධයක් නැත. බොහෝ විට වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව මැයි මාසය තුළ වුවත්, එය අප්‍රේල් මාසය තුළද යෙදෙන්නට ඉඩ තිබේ. 1885 වසරේදී පළමු වෙසක් නිවාඩුව සමරනු ලැබුවේද අප්‍රේල් 28 දිනකදීය.

වෙසක් මාසය යනු මැයි මාසය නොවේ. වෙසක් මාසය ඇරඹෙන්නේ සිංහල අවුරුද්දෙන් (මේෂ සංක්‍රාන්තියෙන්) පසුව එළැඹෙන පළමු අමාවක පෝය දිනය ගෙවී යාමෙන් පසුවය. මෙය අප්‍රේල් 13-28 අතර කිසියම් දිනක සිදු විය හැකිය. මේ අමාවක පෝය සිංහල අවුරුද්ද ගෙවී දින දෙක තුනක් ඇතුළත යෙදුනොත් වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ අප්‍රේල් මාසය තුළය.

සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සම්බන්ධයක් නැතත් චන්ද්‍රමාස හා සූර්ය මාස අතර සම්බන්ධයක් තිබේ. කිසියම් සූර්ය මාසයක් ඇරඹීමෙන් පසු අමාවක පෝය ගෙවී පුර පෑලවිය ලබන විට අළුත් චන්ද්‍රමාසයක් ආරම්භ වේ. මේ චන්ද්‍රමාස නම් කරන්නේ මාසය ඇරඹෙන විට පැවති සූර්ය මාසයට අනුරූපවය. මේෂරවි මාසය තුළ ආරම්භ වන චන්ද්‍රමාසය වෙසක් මාසයයි.

සූර්යමාසයක් චන්ද්‍රමාසයකට වඩා දිග නිසා සෑම සූර්ය මාසයක් තුළම චන්ද්‍රමාසයක් ආරම්භ වන අතර පුර පසළොස්වක පොහොයක්ද යෙදේ. ඇතැම් සූර්ය මාස තුළ චන්ද්‍රමාස දෙකක් ඇරඹෙන අවස්ථා තිබේ. එවිට එයින් එක් මාසයක් අධි මාසයක් ලෙස නම් කෙරේ.

සූර්ය මාසයක් යනු සූර්යයා කිසියම් රාශියක ගමන් කරන කාලයයි. 2018 වසර තුළ සූර්ය මාස ගෙවෙන්නේ පහත පරිදිය.

2017 දෙසැම්බර් 16 සිට ධනුරවි මාසය
2018 ජනවාරි 14 සිට මකරරවි මාසය
2018 පෙබරවාරි 13 සිට කුම්භරවි මාසය
2018 මාර්තු 14 සිට මීනරවි මාසය
2018 අප්‍රේල් 14 සිට මේෂරවි මාසය
2018 මැයි 15 සිට වෘෂභරවි මාසය
2018 ජූනි 15 සිට මිථුනරවි මාසය
2018 ජූලි 16 සිට කටකරවි මාසය
2018 අගෝස්තු 17 සිට සිංහරවි මාසය
2018 සැප්තැම්බර් 17 සිට කන්‍යාරවි මාසය
2018 ඔක්තෝබර් 17 සිට තුලාරවි මාසය
2018 නොවැම්බර් 16 සිට වෘශ්චිකරවි මාසය
2018 දෙසැම්බර් 16 සිට ධනුරවි මාසය

සූර්ය මාස මෙසේ ගෙවී යද්දී, චන්ද්‍රමාස අවසන් කරමින් 2018 අමාවක පෝය යෙදෙන්නේ පහත දින වලදීය.

ජනවාරි 16
පෙබරවාරි 15
මාර්තු 17
අප්‍රේල් 16
මැයි 15
ජූනි 13
ජූලි 13
අගෝස්තු 11
සැප්තැම්බර් 09
ඔක්තෝබර් 09
නොවැම්බර් 07
දෙසැම්බර් 07

ජනවාරි 16 දින අමාවක පෝය එළැඹෙන්නේ ජනවාරි 14 දින මකරරවි මාසය ආරම්භ වීමෙන් පසුවය. මේ අනුව, ජනවාරි 16 දින දුරුතු මාසය අවසන් වී නවම් මාසය ආරම්භ වෙයි. ඒ නිසා, ජනවාරි 31 දිනට යෙදෙන්නේ නවම් පුර පසළොස්වක පෝයයි. එය අධි දුරුතු පෝයක් ලෙස නම් කරන්නේනම් එය වැරැද්දකි.

මේ අයුරින්ම, අප්‍රේල් 16 අමාවක පෝය යෙදෙන්නේ අප්‍රේල් 14 දින සිදුවන මේෂ සංක්‍රාන්තියෙන් පසුවය. ඒ නිසා, එදින වෙසක් මාසය ආරම්භ වෙයි. ඒ අනුව, වෙසක් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් 29 දිනට යෙදෙයි. මැයි 15 හා ජූනි 15 අතර ගෙවෙන වෘෂභරවි මාසය තුළ අමාවක පෝය දින දෙකක් ගෙවේ. මේ දින දෙකෙන් පසුව එළැඹෙන චන්ද්‍රමාස දෙකම පොසොන් මාසයි. සම්ප්‍රදාය අනුව යමින්, ඒ මාස දෙකෙන් එකක් අධිපොසොන් මාසය ලෙස නම් කර තිබේ.

මැයි 15 දින පොසොන් මාසය උදාවන අතර මැයි 27 පොසොන් පුර පසළොස්වක පෝයයි. ජූනි 13 අධිපොසොන් මාසය එළැඹෙන අතර එම මාසය තුළ ජූනි 27 දිනට යෙදෙන්නේ අධිපොසොන් පුර පසළොස්වක පෝයයි. මේ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පෝය දින නියම කර ඇති ආකාරයේ කිසිදු වරදක් නැත.

කෙසේවුවද, අනෙකුත් බෞද්ධ රටවල වෙසක් දිනය තීරණය කරන්නේ ලංකාවේ ක්‍රමයටම නොවේ. තායිලන්තයේ වෙසක් දිනය තීරණය කරන්නේ වෙසක් පුර පසළොස්වක දින හඳ විසා (විශාඛ) නැකතට ආසන්නව පිහිටීම ගැන සැලකිලිමත් වෙමිනි. ඒ නිසා, මේෂ සංක්‍රාන්තියෙන් දින පහක් ඇතුළත අමාවක පෝයක් යෙදුනොත් ඉන් පසු එළැඹෙන මාසය වෙසක් මාසය ලෙස සලකන්නේ නැත. මේ අනුව, 2018 තායිලන්තයේ වෙසක් දිනය සමරනු ඇත්තේ මැයි 27 දිනයි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය නිර්ණය කරන්නේද තායිලන්ත ක්‍රමවේදය අනුව යමිනි. ඒ නිසා, ලබන අවුරුද්දේ ලංකාවට ජාත්‍යන්තර වෙසක් දිනය සමරන්නට අවශ්‍ය වුවහොත් එය කරන්නට වෙන්නේ පොසොන් පුර පසළොස්වක පෝය දවසේය.

(Image: http://www.sundayobserver.lk/2017/04/30/spectrum/un-vesak-day-splendour-sri-lanka)

Monday, July 17, 2017

පිටිකර බෙහෙතෙන් සයිටම් බරවාය සනීප වෙයිද?


සයිටම් අර්බුදය විසඳීමේ පියවරක් ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරාගෙන තිබේ. වාර්තා වී ඇති ආකාරයට රුපියල් මිලියන 3,550ක් වටිනා මේ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් ස්ව-කැමැත්තෙන්ම රජයට පවරන්නේ කිසිදු වන්දි මුදලක් ලබා නොගනිමිනි. සත්‍යාසත්‍යතාව පැහැදිලි නැතත්, ඇතැම් වාර්තා අනුව, මේ රෝහල ඉදි කිරීමට ලබාගත් ණය මුදල් පියවීමටද නෙවිල් ප්‍රනාන්දු විසින් එකඟ වී තිබේ. ගිවිසුමේ කොන්දේසි තවමත් හරියටම පැහැදිලි නැතත් එහි එක් පාර්ශ්වකරුවෙකු වන්නේ රජය නිසා ගිවිසුම අවසන් වීමෙන් පසු එහි ඇති දේ පාරදෘශ්‍ය නොවන්නට ඉඩක් නැත.

මෙයින් පෙනෙන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමයද? එසේ නැත්නම් ව්‍යවසායකයෙකු වෙත රජය විසින් සිදුකළ අසාධාරණ බලහත්කාරයක්ද? එසේත් නැත්නම්, මේ දෙකම නොවන වෙනත් දෙකක්ද?

මගේ අදහස අනුව, මේ පැවරීම වාර්තා වී ඇති පරිදිම ස්ව-කැමැත්තෙන් සිදුවන්නක් මිස රජයේ බලපෑම් නිසා නෙවිල් ප්‍රනාන්දුට කරන්නට සිදු වී ඇති දෙයක් නොවේ. ඒ නිසා, මෙහි නරක පූර්වාදර්ශයක් නැත. ඒ අතරම, මෙය නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමය නිසා ගෙන ඇති තීරණයක්ද නොවේ. කෙතරම් අවාසිදායක තීරණයක් සේ පෙනුණත්, එය මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකි වඩාත්ම වාසිදායක තීරණයයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හැදුවේ එමඟින් කෙටි කලකින් ලාභ ලැබීමේ අරමුණ මුල් කරගෙන නොවේ. සයිටම් වෛද්‍ය පීඨය පවත්වා ගෙන යාම සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍ය වූ බැවිනි. එහෙත්, එයින් අදහස් වන්නේ ඔහු මේ රෝහල වෙනුවෙන් ආයෝජනය කළේ පාඩු ලබන්නට බවද නොවේ.

ලාබ ලැබීම කෙසේ වුවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති රුපියල් මිලියන 3,550ක ආයෝජනය පියවා ගැනීම වුවද සෑහෙන කලක් ගතවන කටයුත්තකි. ලංකාවේ වෙනත් පෞද්ගලික රෝහල් විසින් ලබන ලාබ ආන්තික දෙස බැලූ විට මෙවැනි ආයෝජනයක් පියවා ගැනීමට අඩු වශයෙන් වසර දහයක් හෝ පහළොවක්වත් යා හැකි බව සිතිය හැකිය.

ආයෝජනය ආවරණය කර ගැනීම සඳහා එක් එක් වසර ඇතුළත මෙහෙයුම් වියදම් ඉක්මවා ආදායම් ලබන්නට හැකි විය යුතුය. එහෙත්, ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නොපැමිණේනම් ප්‍රාග්ධන ආයෝජනය තබා මෙහෙයුම් වියදම් වුවද ආවරණය කර ගැනීමට නුපුළුවන. මෙහෙයුම් වියදම ආවරණය කිරීමට ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට හැකි වන තුරු පෞද්ගලික රෝහලක් නඩත්තු කරන්නට වෙන්නේ පාඩු ලබමින්, එයට තවතවත් අරමුදල් පොම්ප කරමිනි.

කෙසේවුවද, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල එහි මෙහෙයුම් කටයුතු වලින් පවා අලාභයක් ලැබුවද සයිටම් වෛද්‍ය පීඨයේ ලාභ වලින් මේ අලාභය පියවා ගැනීමට ඉඩක් තිබුණේය. ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කරන විට නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික උපාය මාර්ගය වන්නට ඇත්තේ එයයි. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදෙන විට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ  පමණක් නොව සයිටම් වෛද්‍ය පීඨයේද මෙහෙයුම් අලාභ දිනෙන් දින ඉහළ යයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පැවරීම මඟින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට එහි මෙහෙයුම් අලාභ ආවරණය කිරීමට දිගින් දිගටම අරමුදල් පොම්ප කරන්නට වීමේ අවාසියෙන් ගැලවෙන්නට හැකිවා පමණක් නොව, සයිටම් වෛද්‍ය පීඨයේ මෙහෙයුම් අලාභ ලාභ වලට හරවා ගැනීමටද පොටක් පෑදේ.

ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනය පියවා ගැනීම අරභයා එහි ඇතුළු වන එක් සිසුවෙකුගෙන් මිලියන දෙකක අමතර මුදලක් පාඨමාලා ගාස්තු හරහා අය කළද, මුළු ආයෝජනය පියවා ගැනීමට සිසුන් 1,775කගෙන් මුදල් අය කිරීමට සිදු වේ. මේ සඳහාද වසර පහළොවක් පමණ ගත විය හැකිය. කෙසේ වුවත්, රුපියල් මිලියන 3,550ක ආයෝජනය ගිලුණු පිරිවැයක් නිසා දැන් ගත යුතු හොඳම තීරණය ගැනීමේදී ඒ මුදල ගැන සිතීම තේරුමක් නැත. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදීමෙන් අවසාන වශයෙන් වෙන්නේ පාඩු තවත් වැඩි වී, ආයෝජනය පියවා ගැනීමට ගතවන කාලය තවත් දිග්ගැසීමයි.

ඉහත කරුණු අනුව, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ස්ව-කැමැත්තෙන් රජයට පැවරීම මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකිව තිබුණු පවතින තත්ත්වයන්ට සාපේක්ෂව වාසිදායක තීරණයකි. අර්බුදය දිගටම ඇදෙන්නට හැරීමෙන් ඔහුට වන අවාසිය මෙහි ඇති අවාසියට වඩා විශාලය. එක් අතකින් මෙය ජේආර්ගේ රජය විසින් රනිල් වික්‍රමසිංහගේ සොයුරාට අයත්ව තිබුණු ස්වාධීන රූපවාහිණිය රජයට පවරාගැනීම වැනි දෙයකි.

කරුණු එසේනම් නෙවිල් ප්‍රනාන්දු විසින් කර ඇත්තේ කොහේවත් තියෙන කුණු ගොඩක් ආණ්ඩුවේ ඇඟේ ගැසීමද?

මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවටද පාඩුවක් නැත. රජයේ රෝහල් වල වෛද්‍ය සේවා පහසුකම් සපයන්නේ මුදල් අය නොකර වූවත්, දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම සපුරමින් රෝහල් පහසුකම් වැඩි කිරීම පිණිස රජය විසින් ප්‍රාග්ධන ආයෝජන සිදු කළ යුතුය. රුපියල් මිලියන 3,550ක් වටිනා රෝහලක් රජයට නිකම්ම ලැබීම යනු එපමණක සෘජු වාසියකි. මෙවැනි රෝහලක් වෙනුවෙන් රජය විසින් අරමුදල් යෙදවුවද වෛද්‍ය සේවා වෙනුවෙන් මුදල් අයකිරීමක් නොකරන බැවින් රෝහලෙන් ආදායම් නොලැබීම අදාළ කරුණක් නොවේ.

රජයේ පාලනයේ යටතේ ගුණාත්මක භාවය අවශ්‍ය මට්ටමින් පවත්වා ගන්නවානම් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන්ගෙන් අඩුවක් නොවනු ඇත. යම් හෙයකින් එහි ගුණාත්මක භාවය රජයේ වෙනත් රෝහල් වල මට්ටමට නැති වුවද, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේනම් එහි පැමිණෙන්නට රෝගීහු ප්‍රමාණවත් තරම් සිටිනු ඇත.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හා රජය සැලකූ විට මෙය දෙපාර්ශ්වයටම වාසිදායක (win-win) ගනුදෙනුවකි.

එසේනම්, සයිටම් වලට එරෙහිව හඬ නැඟූ වෛද්‍යවරුන්ගේ තත්ත්වය කුමක්ද?

මගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ ඇතැම් මිතුරන්ද ඇතුළු බොහෝ වෛද්‍යවරුන් සයිටම් විශාල ප්‍රශ්නයක් ලෙස දුටුවේ එහි ලබාදෙන සායනික පුහුණුව ප්‍රමාණවත් නැතැයි යන පදනමිනි. ඔවුන් මතු කළ මේ තර්කයට පදනමක් තිබුණේය. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ඇත්තටම සයිටම්හි සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇති වුනු ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයනම්, දැන් ඔවුන්ගේ කණස්සල්ලද සමනය කරන විසඳුමක් ලැබී තිබේ. සයිටම් පුහුණුවේ ගුණාත්මක භාවයට බලපාන තවත් කරුණු තිබේනම් ඒවා සාකච්ඡා කිරීමට ඉඩ සැලසෙන වේදිකාවක්ද දැන් හැදී තිබේ.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පමණින් එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවත්, එහි තවත් අඩුපාඩු රැසක් ඇති බවත් වෛද්‍යවරුන්ට කියන්නට පුළුවන. එය එසේ වන්නටද පුළුවන. රෝහල රජයට පවරා ගත් පමණින් සයිටම් වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ගුණාත්මක භාවය හා අදාළ සියළු ප්‍රශ්න නොවිසඳෙනු ඇතත්, මේ අතරමැදි පියවර තුළින් වෛද්‍යවරුන්ට රජය සමඟ සාකච්ඡා කර ඉතිරි ප්‍රශ්න විසඳාගැනීම සැලකිය යුතු තරම් පහසු කරයි. එවැනි ඉඩක් සලසමින් රජය හා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මේ තරමට නම්‍යශීලී වීම අගය කළ යුතුය.

කෙසේ වුවද, දේශපාලන අරමුණු සහිතව සයිටම් ප්‍රශ්නය වවාගෙන කන්නට බලා සිටි අයට මේ ගනුදෙනුව සතුටුදායක පුවතක් නොවන්නට ඉඩ තිබේ. එවැනි අයගේ අරමුණු වලට ඉඩ නොලැබෙන පරිදි රජය, සයිටම් බලධාරීන් හා වෛද්‍ය සංගමය යන ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්ව ප්‍රශ්නය අවසන් කරගත හැකිනම් එය රටේ සියල්ලන්ටම සැලසෙන යහපතකි.

මේ පියවරෙන් පසුවද, ප්‍රශ්නය නොවිසඳේනම් වෛද්‍ය සංගමයට හා රජයට කෙසේ වුවත් නෙවිල් ප්‍රනාන්දුට සිදුවන්නේ කබලෙන් ලිපට අඩිය තැබීමටය. එසේ වුවහොත්, එක් පැත්තකින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනයෙන් කෙටිකාලීනව කෙසේ වුවත් දිගුකාලීනව ලාබයක් ලැබීමට ඔහුට තිබුණු අවස්ථාව අතහැර දැමීමෙන් පසු සයිටම් වෛද්‍ය පීඨය මඟින් ඒ අලාභයෙන් කොටසක් පියවා ගන්නට ඔහුට තිබුණු අපේක්ෂාවද ගිලිහී යන්නට පුළුවන.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඔහු සිය කැමැත්තෙන් රජයට පවරා දුන්නත් සයිටම් වෛද්‍ය පීඨය ඒ ආකාරයෙන් පවරා දෙන්නට ඉඩක් නැත. අවාසිදායකම තත්ත්වයන් යටතේ වුවද, ඔහු සයිටම් වෛද්‍ය පීඨය රජයට පවරා දෙනු ඇත්තේ රජය විසින් එහි තක්සේරු වටිනාකම ගෙවන්නේනම් පමණි. සයිටම් ආයතනයේ වටිනාකම යනු ඒ වෙනුවෙන් යටකර ඇති මුදල් ප්‍රමාණය පමණක් නොවේ. එමඟින් අනාගතයේදී ලබන්නට අපේක්ෂා කළ ලාභ වල වර්තමාන අගය (present value) එහි නියම වටිනාකමයි. මේ අගය එහි ආයෝජනය කර ඇති මුදල ඉක්මවනු ඇත. එවැනි විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කිරීම රජයට (බදු ගෙවන ජනතාවට) වාසිදායක නොවන තීරණයක් විය හැකිය.

අනෙක් අතට සයිටම් වෛද්‍ය පීඨයේ නියම වටිනාකම එහි අයිතිකරුවන්ට නොගෙවා බලහත්කාරයෙන් එය පවරාගැනීම මේ යුගයට නොගැලපෙන දෙයකි. තෙල් සමාගම් ජනසතු කළ යුගය අවසන් වී දැන් බොහෝ කල්ය. පෞද්ගලික ව්‍යාවසායයක් බලහත්කාරයෙන් රජයට පවරා ගනිමින් වැරදි පූර්වාදර්ශයක් ලබා දුන්නොත් එමඟින් සිදුවන අනාගත හානිය ඉතා විශාල වනු ඇත.

වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්නය අදිමින් මස් රාත්තලම ඉල්ලනවානම් සහ එහි දේශපාලනික අරමුණු නැතැයි ඔවුන් කියනවානම්, වෛද්‍යවරුන් නොවන වෙනත් අයට සංවේදී නොවන කිසියම් ප්‍රශ්නයක් මෙහි තිබිය යුතුය. එහෙත්, එය පොදු සමාජයට පැහැදිලි කිරීමට සමත් අයෙකු වෛද්‍යවරුන් අතර පෙනෙන්නට නැත. යම් හෙයකින් සයිටම්හි ඇති ප්‍රශ්නය වෛද්‍යවරුන් නොවන අයට තේරුම් ගන්නට අසීරු තරම් සංකීර්ණ එකක්නම් එයින් අදහස් වන්නේද එය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් මිස පොදු සමාජයේ ප්‍රශ්නයක් නොවන බවයි.

Sunday, July 16, 2017

නිර්ධන පංතියේ හාල්මැස්සා සහ ධනපති කුකුළා


කුකුළුමස් යනු අප කුඩා කාලයේ අපට හිතේ හැටියට කන්නට ලැබුණු කෑමක් නොවේ. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් වූ අපේ ගෙදරට බොහෝ විට කුකුළුමස් ගෙනාවේ පියාගේ පඩි දවසේ හෝ නිවසට අමුත්තෙකු පැමිණෙන අවස්ථාවක වැනි විශේෂ දවසකය. ඊට වඩා වැඩිපුර කුකුළුමස් කෑම අපේ ආර්ථිකයට ඔරොත්තු නුදුන්නා පමණක් නොව ඒ තරමට කුකුළුමස් කෑම, අඩු වශයෙන් ඒ කාලයේ අපේ ගෙදර පැවති සංස්කෘතිය තුළ, අවශ්‍ය හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේද නැත. කුකුළුමස් සැලකුනේ අවුරුද්දට හදන හත්මාළුව හෝ කිරිදානයකට හදන කිරියා මෙන් මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථා වලට ගැලපෙන ආහාරයක් මිස දිනපතා ආහාරයට ගත යුතු දෙයක් ලෙස නොවේ.

කුකුළුමස් ආහාරයට ගැනීමෙන් සංකේතවත් වුනේ සතුටයි. ඒ නිසා, සතුට පෙන්වීම නුසුදුසු අවස්ථාවක් ලෙස සැලකෙන අවමංගල අවස්ථාවක ඉදෙන කෑමකට කුකුළුමස් හෝ වෙනත් මස් වර්ගයක් පමණක් නොව අළුත් මාළු හෝ එකතු වුනේ නැත. මුහුදුබඩ පළාත් වල සංස්කෘතිය මීට වඩා වෙනස් වූවා විය හැකිය. මළ ගෙදරක සාමාන්‍යයෙන් පිළියෙල කළ ආහාර වේලක වූ සත්ත්ව ප්‍රෝටීන් සංරචකය වූයේ කරවල හෝ හාල්මැස්සන් හොද්දකි. කුකුළුමස් සතුටේ සංකේතයක් වූවාක් මෙන් හාල්මැස්සා දුකේ සංකේතයක් වූවා විය හැකිය.

රට වටකර රට මෙන් කිහිප ගුණයක් විශාල අනන්‍ය මුහුදු කලාපයක් තිබුණත්, මුහුදට සැතපුම් පණහක පමණ දුරින් රට මැදට වෙන්නට සිටි අපට කුකුළුමස් මෙන්ම අළුත් මාළුද සුඛෝපභෝගී ආහාර විය. අපේ ආහාර වේලට දිනපතා සාමාන්‍යයෙන් එකතු වුනු සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවය වූයේ එක්කෝ කරවල හෝ වියලි හාල්මැස්සන්ය. එසේ නැත්නම් බිත්තරයි. බිත්තර එතරම් දුලබ ආහාරයක් නොවූයේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ හෝ ඇතැම් විට ඊටත් පෙර අපේ ගෙදර කුකුළු පාලනය ඇරඹී තිබුණු නිසාය. මෙසේ ගෙදර හැදූ කිකිළියන්ගේ බිත්තර සීමිත ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මා ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නට ඇතැයි දැන් මට හිතේ.

බිත්තරයක් කඩන්නට අයෙක් සොයා ගැනීම ඇතැම් විට ප්‍රශ්නයක් වුවත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ඒ පවට කර ගහන්නට කවුරු හෝ වැඩිහිටියෙකු ඉදිරිපත් විය. එහෙත්, ගෙදර කුකුළු පට්ටියේ කුකුළෙකු මස් කරන්නට තරම් ධෛර්යයක් අපේ ගෙදර වැඩිහිටියන් කිසිවකුටත් නොතිබුණේය. වරක් කුකුළු කූඩුවට කලවැද්දන් පැන කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබුණු විටකද, ලොකු වලක් කපා ඒ කුකුළන් වල දැම්මා මිස සුද්ද කර ආහාරයට ගැනුණේ නැත. කුකුළුමස් හැමවිටම වාගේ සම්පාදනය කර ගැනුණේ නගරයේ වූ මස් කඩයෙන් මිල දී ගැනීම මඟිනි.

ඉඳහිට අතරින් පතර කාගෙන් හෝ ලැබුණු වල් ඌරු මස් ගාතයක් හැර ගම් ඌරු මස් හෝ හරක් මස් මුල් කාලයේදී අපේ ගෙදර ඉදුනේම නැත. එහෙත්, එයට හේතු වූයේ සංස්කෘතික හේතු මිස ආර්ථික හේතුම නොවේ.

දශක හතර පහකට පෙර අපේ ගෙදර ආහාර රටාවේ තිබුණු ආර්ථික හා සංස්කෘතික සීමාවන් ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ තවමත් විශාල ලෙස වෙනස් නොවී දකින්නට පුළුවන. රටේ සාමාන්‍ය ආදායම් මට්ටම පසුගිය දශක හතර තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇතත් කුකුළුමස් වලින් තවමත් සංකේතවත් වන්නේ ධනපතියෙකුගේ පරිභෝජන රටාවයි. කාටුන් චරිත වල දැකිය හැකි බඩ තඩි දේශපාලනඥයාගේ පිඟානේ තවමත් දකින්නට ලැබෙන්නේ රෝස් කළ ලොකු කුකුළෙකි.

කුකුළුමස් පරිභෝජනය හරහා සංකේතවත් කෙරෙන ලංකාවේ ආදායම් විෂමතාවය කාටුන් වලට සීමා වූවක් නොවේ. එය ලංකාවේ සැබෑ ආහාර පරිභෝජන රටා තුළ තවමත් දකින්නට හැකි දෙයකි. ආර්ථික සාධක හේතුවෙන් කුකුළුමස් හා අළුත් මාළු පමණක් නොව බිත්තරද ලංකාවේ අති මහත් බහුතරයකට තවමත් හිතේ හැටියට පරිභෝජනය කරන්නට ලැබෙන්නේ නැත. මෙයින් වෙනස්ව, හරක් මස් පරිභෝජනය සීමා වී ඇත්තේ සංස්කෘතික සාධක හේතුවෙනි.


අදටත් ලංකාවේ දුප්පත්ම නිවාස ඒකක සියයට විස්ස තුළ වියලි හාල්මැස්සන් පරිභෝජනය කුකුළුමස් පරිභෝජනය ඉක්මවයි. දුප්පත්ම නිවාස ඒකක 10% තුළ ජීවත් වන පවුලක් වසරකට වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 3.2ක් ආහාරයට ගන්නා අතර ආදායම අනුව දෙවන හා තෙවන පහළ මට්ටම් වල ඉන්නා අය පිලිවෙලින් වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 5.1ක් හා 5.6ක් ආහාරයට ගනිති. මේ කණ්ඩායම් වලට හාල්මැස්සන් ආහාරයට ගැනීම කෙරෙහිද සිය ආදායම් මට්ටම බාධාවක් වන නමුත්, ආදායම අතින් උඩින් සිටින 70%ට එය එතරම් බාධාවක් නොවේ. ආදායම බාධාවක් නොවූවද ලංකාවේ පවුලක් හාල්මැස්සන් කිලෝග්රෑම් 6-7කට වඩා ආහාරයට ගන්නේ නැත. එය ලංකාවේ සාමාන්‍ය පවුලකට වියලි හාල්මැස්සන් පරිභෝජනය කිරීම සඳහා ඇති රුචිකත්වයේ සීමාවයි.

හරක්මස් ආහාරයට ගැනීම ආදායම අනුව පහළින් සිටින 50%කටම ප්‍රශ්නයක් වුවත්, උඩින් සිටින 50%ට එයද බාධාවක් නොවේ. පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය අඩු වීමයි. මෙයින් පෙනෙන්නේ සංස්කෘතික හා වෙනත් ආර්ථික නොවන සාධක වල බලපෑම ආර්ථික සාධක ඉක්මවා යාමයි. රටේ ආදායම් අනුව පහළින් සිටින 50%ට සංස්කෘතික සාධක ප්‍රශ්නයක් නොවූවත් ඉහළින් සිටින 50%ට එය ප්‍රශ්නයකි. සංස්කෘතික සාධක වලට අමතරව සෞඛ්‍යමය හේතුද මේ නිරීක්ෂණයට සැලකිය යුතු තරමින් දායක වනවා විය යුතුය.

කුකුළුමස් හා බිත්තර පමණක් නොව කෙලවල්ලා මාළු පරිභෝජනය හා අදාළවද පෙනෙන රටාව ඉහත රටාවන්ට වඩා වෙනස්ය. මේ ආහාර වර්ග පරිභෝජනය ආදායම වැඩිවන විට දිගින් දිගටම ඉහළ යයි. එයින් පෙන්නුම් කරන්නේ ආදායම අනුව ඉහළින්ම සිටින නිවාස ඒකක වලට පවා මේ ආහාර වර්ග පරිභෝජනය තවදුරටත් ඉහළ දැමීමට ඇති බාධාව ආදායම් සීමාවන් බවයි. ඒ අනුව පෙනී යන්නේ රටේ ආදායම් මට්ටම් වැඩි වීම හෝ මිල පහළ යාම නිසා කුකුළුමස්, බිත්තර හා අළුත් මාළු මිලදී ගැනීමේ හැකියාව වැඩි වන තරමට එම ආහාර වර්ග පරිභෝජනයද තව දුරටත් දිගින් දිගටම ඉහළ යන්නට ඉඩ ඇති බවයි. කුකුළු මස්, බිත්තර හා කෙලවල්ලන් (අලුත් මාළු) හා අදාළව ලංකාවේ පාරිභෝගිකයින්ගේ සීමාකාරී සාධකය වී තිබෙන්නේ ක්‍රය ශක්ති සීමාවන් මිස හාල් මැස්සන්ට මෙන් රුචිකත්වයේ සීමාවන් හෝ හරක්මස් වලට මෙන් සංස්කෘතික සීමාවන් නොවේ.

රටේ පහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වසරකට ඉදෙන්නේ කුකුළුමස් කිලෝ ග්‍රෑම් 1.37ක් පමණි. බිත්තර 39කි. ඉහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වාර්ෂික කුකුළුමස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 33.8ක්ද, බිත්තර පරිභෝජනය 210ක්ද වෙයි. දුප්පත් නිවසක එක් කුකුළෙකු ඉදෙන විට ධනවත් නිවසක් කුකුළන් 25ක් පමණ ඉදෙයි. එහෙත්, හාල්මැස්සන් හා අදාළව මේ අනුපාතය දෙගුණයක් පමණි.

මස් පිණිස හෝ බිත්තර පිණිස කුකුළන් හදන කුඩා (කුකුලන් 1000 නොඉක්මවන) ගොවිපොළවල් 39,209ක් ලංකාවේ තිබේ. මේවායේ අයිතිකරුවෝ රටට බරක් නැතිව ජීවත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයෝ වෙති. බිත්තර මිල අඩු වීමට හේතු වන, කර්මාන්තයේ සිදුවන සුළු ආකෘතිමය වෙනසක් නිසා වුවද මේ ව්‍යවසායයන් පවත්වා ගෙන යාම අසීරු වී ඒවායින් කොටසක් බිඳ වැටෙන්නට පුළුවන.

මේ කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ "ධනපතියෝ" නොවෙති. එහෙත්, අඩු මිලට බිත්තරයක් කන්නට ලැබීමෙන් වාසි ලබන අය අතර සිටින අවුරුද්දකට වරකට වඩා කුකුළුමස් කන්නට හැකියාවක් නැති, මාසයකට වරකට වඩා බිත්තරයක් කන්නට හැකියාවක් නැති පුද්ගලයෝ ඔවුන්ටද වඩා අසරණයෝ වෙති. එවැනි පවුල් වල සිටින ප්‍රමාණය අඩු වශයෙන් මිලියන දෙකකි. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් හතළිස් දහසකට නොවැඩි පිරිසකට සහන සලසන්නට වෙන්නේ රටේ අඩුම ආදායම් ලබන 10%ට අයත් මිලියන දෙක ඉක්මවන පුද්ගලයින් ඇතුළු රටේ මාංශමය ආහාර කන සෑම අයෙකුගේම කෑම වේලෙන් බිත්තර කිහිපයක් හා කුකුළුමස් ග්‍රෑම් කිහිපයක් ඉවත් කර ගැනීම මඟින් පමණි. එය කොතරම් උචිතද යන්න විමසා බැලිය හැක්කේ ඒ නිසා සමාජ අතිරික්තය වෙනස්වන ආකාරය පරීක්ෂා කිරීම මඟිනි.

Saturday, July 15, 2017

2017දී සැමට කුකුළෙක්!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව 2016 වසර මැද ලංකාවේ ජනගහණය 21,203,000කි. එම ආයතනයේම (තාවකාලික) ඇස්තමේන්තු අනුව 2016 වසරේ ලංකාවේ කුකුළුගහණය 21,056,020 කි. මේ ගණනට කුකුළන්, කිකිළියන් හා කුකුළු පැටවුන් ඇතුළත්ය.

පසුගිය වසර 12ක කාලය තුළ (2004-2016) ලංකාවේ ජනගහණය වර්ධනය වී ඇත්තේ 10%කින් පමණ වුවත්, කුකුළුගහණය 90%කින් පමණ වර්ධනය වී තිබේ. මේ ප්‍රවණතාවය සැලකිල්ලට ගත් විට මේ වන විට ලංකාවේ කුකුළුගහණය ජනගහණය ඉක්මවා ඇතැයි සිතිය හැකිය. ලංකාවේ කුකුළුගහණය මේ අයුරින් වේගයෙන් වැඩි වී තිබෙන්නේ රටේ ඉල්ලුම් හා සැපයුම් සාධක මත මිස රජය විසින් මහජන මුදල් වැය කර "2017දී සැමට කුකුළෙක්!" ව්‍යාපෘතියක් දියත් කිරීම නිසා නොවේ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු නිවැරදිනම් 2016 වසර තුළ පමණක් ලංකාවේ කුකුළුගහණය 25.75%කින් වැඩි වී ඇත. වසර තුළ කිකිළියන් ගණන 3.6%කින් පමණක් වැඩි වී තිබෙද්දී, (පිරිමි) කුකුළන් ගණන 120%කින් වර්ධනය වී තිබීම විශේෂ කරුණකි.

බිත්තර පිණිස හදන්නේ කිකිළියන් පමණක් නිසා බොහෝ විට පිරිමි කුකුළු පැටවුන් බිහිවුණු වහාම මරා දැමෙන නමුත් මස් පිණිස හදන විට එවැන්නක් සිදු නොවේ. බිත්තර පිණිස ඇති කරන කිකිළියක් වසරක පමණ කාලයක් ජීවත් වුවත්, මස් පිණිස හදන කුකුළන් හෝ කිකිළියන් ජීවත් වන්නේ සති හත-අටක කාලයක් පමණක් නිසා වසරක් තුළ මස් නිෂ්පාදනය පිණිස මරණ කුකුළන් (හා කිකිළියන්) ගණන රටක කුකුළුගහණය මෙන් කිහිප ගුණයකි.

රටක හෝ ලෝකයේ ජනගහණය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම් වුවත්, රටක හෝ ලෝකයේ කුකුළුගහණය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කුකුළන්ගේ හා කිකිළියන්ගේ රුචිඅරුචිකම් නොවේ. ඒ සඳහා බලපාන්නේද මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම්මය. ඒ අතරම, මිනිස්ගහණය දැනට පවතින මට්ටමේ සමතුලිතව තිබීමට කුකුළන්ගෙන් හා කිකිළියන්ගෙන් සිදුවන බලපෑමද ඩෙංගු මදුරුවන්ගේ සිට ඌරන් හා හරකුන් දක්වා වෙනත් ඇහැට පෙනෙන සතුන්ගෙන් වන බලපෑමට වඩා වැඩිය.

ලංකාවේ කුකුළුගහණය ජනගහණයට ආසන්නව සමාන වුවත් ලෝකයේ කුකුළුගහණය ලෝක ජනගහණය මෙන් දෙගුණය ඉක්මවයි. බිලියන 16.8ක් පමණ වන ලෝක කුකුළුගහණයෙන් බිලියන 4.6ක් පමණම සිටින්නේ ලෝකයේ ජනගහණය වැඩිම රටද වන චීනයේය. ඇමරිකාවේ කුකුළුගහණය බිලියන 2.0 පමණ වේ. ඉන්දුනීසියාව, බ්‍රසීලය, ඉරානය, පකිස්ථානය හා ඉන්දියාවද, එම අනුපිළිවෙලින්, විශාල කුකුළුගහණයකට හිමිකම් කියන රටවල් අතර ඉහළින් සිටී. ඉන්දියාවේ කුකුළුගහණය එරට ජනගහණයෙන් අඩක් පමණ වේ.

(Image: http://chicken.motifake.com/tags/chicken)

Thursday, July 13, 2017

නෙවිල් මුදලාලිගේ ලාබ


සයිටම් පිළිබඳ කතිකාවේදී මතු කරන කරුණු අතරින් එක් කරුණක් වන්නේ සයිටම් වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්නේ ලාභ ලැබීමේ අරමුණින් බවයි. ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම ඇති හාර්වඩ්, ස්ටෑන්ෆර්ඩ් හා ජෝන් හොප්කින්ස් වැනි වෛද්‍ය විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අයත් පීඨ වුවත් ලාභ ලැබීම අරමුණු කරගෙන පවත්වාගෙන යන වෛද්‍ය පීඨ නොවේ. සයිටම් විරෝධීන් විසින් තර්ක කරන්නේ මේ සරසවි පෞද්ගලික ඒවා වුවත්, ඒවායේ ඉහළ ගුණාත්මක භාවයට හේතුව ලාභ ලැබීමේ අරමුණක් නොමැති වීම බවයි.

අනෙකුත් තත්ත්වයන් සමානව ඇත්නම් ලාබ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන ආයතනයකට වඩා ලාබ ලැබීම අරමුණු කර නොගත් අධ්‍යාපන ආයතනයක ගුණාත්මක භාවය වැඩි වන්නට ඉඩ ඇති බව ඇත්තකි. හාර්වඩ්, ස්ටෑන්ෆර්ඩ් හා ජෝන් හොප්කින්ස් වැනි මුදල් අය කරන, එහෙත් ලාබ ලැබීම අරමුණු කර නොගත් අධ්‍යාපන ආයතනයකට සාමාන්‍යයෙන් එහි ආදායම් හා වියදම් සමාන වන මට්ටම දක්වා මුදල් වැය කරමින් එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට පුළුවන. එහෙත්, ලාබ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන ආයතනයක් එහි ගුණාත්මක භාවය ඒ මට්ටමටම වැඩි කරන්නට පෙළඹෙන්නේ නැත. එවැනි ආයතනයක් ආයතනයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට මුදල් යොදවන්නේ ගුණාත්මක භාවය වැඩි වීම නිසා ලාභ ඉහළ යන මට්ටම දක්වා පමණි. කෙසේවුවද, ගුණාත්මක භාවය විශාල ලෙස පහළ වැටීම ලාභ අඩුවීමටද හේතු වන බැවින් එවැනි ආයතනයක ගුණාත්මක භාවය විශාල ලෙස පහත නොවැටේ.

සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨයක හෝ පොදුවේ විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය මැනීමේදී ප්‍රධානම නිර්ණායකයක් වන්නේ එහි සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවයයි. එයට අමතරව සිසුන්ගේ තත්ත්වයද සැලකිල්ලට ගැනේ. වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය පහත වැටීම මූලික වශයෙන්ම බලපාන්නේ එහි ඉගෙන ගන්නා සිසුන්ටය. ඉගෙනුම ලබා පිටවන සිසුන්ගේ (වෛද්‍යවරුන්ගේ) ගුණාත්මක භාවය ද්වීතියික ලෙස වෙනත් අයට (රෝගීන් වන පොදු ජනතාවට) බලපායි.

සයිටම් වෛද්‍ය පීඨයද ඇතුළුව මේ වන විට ලංකාවේ MBBS උපාධිය ප්‍රදානය කරන ආයතන දහයක් තිබේ. එයින් අටක් සඳහා ප්‍රධාන වශයෙන්ම සිසුන් තෝරා ගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් උසස් පෙල විභාගයේ ප්‍රතිඵල හා විභාගයට පෙනී සිටි දිස්ත්‍රික්කය අනුවය. මෙසේ තෝරා ගැනෙන සිසුන් විසින් ටියුෂන් ගාස්තු ලෙස කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.

රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම වන්නේ උසස්පෙල විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන් තුනට සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ලබා තිබීමයි. එහෙත්, ඉහත කී වෛද්‍ය පීඨ අටේ ඇති ආසන්න වශයෙන් 1250ක් පමණ වන පුරප්පාඩු ගණනට තරඟ කරන ඉහත අවම සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් ගණන 25,000 ඉක්මවයි. ඒ නිසා, ඉහත වෛද්‍ය පීඨ අටෙන් එකකට ඇතුළු වීමේ අවස්ථාව හිමිවන්නේ ආසන්න වශයෙන් අයදුම්කරුවන්ගෙන් 5%කට පමණි.

පවතින පුරප්පාඩු ගණනට වඩා සැලකිය යුතු තරම් වැඩි අයදුම්කරුවන් පිරිසක් සිටින විට ඒ අතරින් පිරිසක් තෝරාගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් යොදාගැනීමට සිදු වේ. නිදහස් වෙළඳපොලක භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා වැඩි වූ විට අදාළ භාණ්ඩය හෝ සේවාව හිමි විය යුත්තේ කාටද යන්න තීරණය කරන්නේ මිල සාධකය විසිනි. ඒ මඟින්, භාණ්ඩය හෝ සේවාව වඩාත්ම අගය කරන පුද්ගලයින්ට එය හිමිවේ. එහෙත්, නිදහස් වෙළදපොළ ක්‍රමය වඩාත්ම හොඳින් ක්‍රියාත්මක වන ඇමරිකාව වැනි රටක පවා උසස් අධ්‍යාපන සේවාවන් සැපයීමේදී මිල සාධකය එකම නිර්ණායකය ලෙස සලකන්නේ නැත.

මුදල් අය කර හෝ නොකර සරසවියකට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සලකා බැලෙන ප්‍රධාන කරුණක් වන්නේ අදාළ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අයදුම්කරුවෙකුට ඇති හැකියාවයි. මෙයට පදනමක් තිබේ.

කිසියම් සරසවියකට ඇතුළු වන සිසුසිසුවියන්ගෙන් විශාල පිරිසක් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම් පාඨමාලාව සඳහා මුදල් ගෙවූවද නොගෙවූවද අදාළ සිසුවාගේ හෝ සිසුවියගේ අරමුණ ඉටුවන්නේ නැත. මෙය දිගින් දිගටම සිදුවෙනවානම් එය සරසවියේ කීර්තියටද ප්‍රශ්නයක් වෙන අතර දිගුකාලීනව සරසවියට ඉල්ලුමක් නැති වීමටද හේතුවකි. කිසියම් සරසවියකට සිය පාඨමාලාව සම්පූර්ණ කිරීම පහසු කර සිසුසිසුවියන් වැඩි පිරිසක් සමත් කරන්නට හැකි වුවත්, එසේ කිරීමෙන් සිසුන්ට අදාළ විෂයේ නිපුණත්වය නිසිපරිදි නොලැබෙන බැවින් දිගුකාලීනව එයින් සිදුවන්නේද සරසවියට ඉල්ලුමක් නැති වීමයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ලංකාවේ පළමු කී වෛද්‍ය පීඨ අටේ ඇති සීමිත පුරප්පාඩු ගණන පිරවීම සඳහා සිසුන් තෝරා ගැනීමේදී අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ හැකියාව ඇති සිසුන් බඳවා ගැනීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු වී ඇතත්, ප්‍රායෝගික වශයෙන්  වැඩිපුර අවධානය යෙදී ඇත්තේ මේ සීමිත පුරප්පාඩු ගණන "සාධාරණ ලෙස" බෙදා හැරීම කෙරෙහිය. සිසුන් බඳවා ගැනීමේ පටිපාටියේ ප්‍රධානම නිර්ණායකය ලෙස සැලකිය හැකි උසස් පෙළ විභාගය හරහා සිසුන් බඳවා ගැනීම තුළ දකින්නට ඇත්තේද උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්වෙන "දක්ෂ සිසුන්ට" අවස්ථාවක් ලබා දීම සාධාරණ වන්නේය යන පදනමයි. (දැනට සිදුකර ඇති පර්යේෂණ අධ්‍යයන කිහිපයම පෙන්වා දෙන්නේ උසස්පෙළ ලකුණු වෛද්‍ය විද්‍යාල පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් බවයි.) උසස් පෙළ මට්ටම දක්වා අධ්‍යපනය ලැබීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිසුන්ට හිමිවන පහසුකම් වල විෂමතා සැලකිල්ලට ගනිමින් උසස්පෙළ විභාගයට මුහුණ දීමට පෙර වසර පහක කාලය තුළ වැඩිකලක් ඉගෙනුම ලැබූ පාසැල පිහිටි දිස්ත්‍රික්කයද අනුපූරක නිර්ණායකයක් ලෙස සැලකිල්ලට ගැනේ.

ලංකාවේ මුල් වෛද්‍ය පීඨ අටේ පුරප්පාඩු වලින් 97.5%ක්ම පුරවන්නේ දිස්ත්‍රික්කය සැලකිල්ලට ගනිමින් හෝ නොගනිමින් උසස්පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්වය. මේ සඳහා දැනට භාවිතා වන්නේ z-ස්කෝර් අගයයි. මේ z-ස්කෝර් අගය පදනම් වන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන එක් එක් විෂයයන් සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් කොපමණ සිසුන් ප්‍රතිශතයකට වඩා ඉදිරියෙන් තමන් සිටියේද යන්නයි.

මේ වන විට ක්‍රියාත්මක වන බඳවා ගැනීමේ පටිපාටිය අනුව, වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සිසුන්ගෙන් 70-80% අතර ප්‍රමාණයක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ තනිකරම z-ස්කෝර් අගය මත පදනම්වය. ඉතිරි පිරිසට තමන් ඉගෙනුම ලබන දිස්ත්‍රික්කයේ වාසිය (හෝ අවාසිය සමනය වීම) මත, වෙනත් දිස්ත්‍රික්කයකින් විභාගයට මුහුණ දී තමන්ට වඩා වැඩි  z-ස්කෝර් අගයක් ලැබූ ඇතැම් සිසුන් අභිබවවමින් ඉදිරියට යන්නට අවස්ථාවක් හිමි වේ. මා මෙහිදී කතා කරන්නේ කුසලතා 40%, දිස්ත්‍රික් 55% හා දුෂ්කර 5% ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පෙන්වන බෙදාහැරීම ගැන නොව එමඟින් සැබෑවටම සිදුවන දෙය ගැනය. එයට අමතරව, මේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය ගැන හා ඒ නිසා පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ අධ්‍යාපන සේවා සැපයීමේ වෙළඳපොළේ සිදුවී ඇති වෙනස්කම් ගැනත් එමඟින් ප්‍රාදේශීය විෂමතා සමනය වී ඇති ආකාරය ගැනත් විස්තර පසු ලිපියකට තබමු.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ලංකාවේ පළමු කී වෛද්‍ය පීඨ අට ගුණාත්මක භාවය අතින් සමාන මට්ටමක නොපවතී. ඒ අතරින්, කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ යන වෛද්‍ය පීඨ ගුණාත්මක භාවය අතින් ඉදිරියෙන් ඇති ඒවාය. මේ එක් එක් වෛද්‍ය පීඨයේ සහායක මහාචාර්යවරුන්ද ඇතුළුව මහාචාර්යවරුන් අඩු වශයෙන් 20 දෙනෙකුවත් සේවය කරති. ගුණාත්මක භාවය අතින් ඉදිරියෙන්ම ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ  සහායක මහාචාර්ය වරුන් 4 දෙනෙකුද ඇතුළුව මහාචාර්යවරුන් 40 දෙනෙකු සේවය කරති. මේ වෛද්‍ය පීඨ අටෙන් එකක සිසුවෙකු වෙනුවෙන් අධ්‍යයන සේවාවන් සඳහා පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 30 ඉක්මවයි. අනෙකුත් සියලු වියදම් එකතු කළ විට සීමාවාසික පුහුණුවට පෙර සිසුවෙකු වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 60ක් පමණ වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

සිදුවිය යුතු පරිදිම, සිසුන්ගේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයටය. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළුවීමේ අවස්ථාව ලැබෙන්නේ උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබන සිසුන්ට පමණි. මේ වන විට වෛද්‍ය පීඨයකට ඇතුළුවීම වඩාත්ම අසීරු දිස්ත්‍රික්ක වන ගාල්ල හෝ මාතර වැනි දිස්ත්‍රික්කයක සිසුන් අතරින් වුවද කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකටය. 2016/17 අධ්‍යයන වර්ෂය තුළ අවම z-ස්කෝර් අගයක් ලබා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වන කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට මුහුණ දුන් සිසුවා හෝ සිසුවියද උසස්පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ගත් සිසුන් 1.29% තුළ සිටින්නෙකි. වෙනත් දිස්ත්‍රික්ක වලින් කොළඹ වෛද්‍ය පීඨයට තේරී ඇති සියලු දෙනා ඔහුට හෝ ඇයට වඩා ඉදිරියෙන් සිටින්නෝය.

අයදුම්කරුවන්ගේ ඉල්ලුම අනුව කොළඹ වෛද්‍ය පීඨයට පසුව ඉදිරියෙන් සිටින්නේ පිළිවෙළින් පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ වෛද්‍ය පීඨයි. 2016/17 අධ්‍යයන වර්ෂය තුළ මේ එක් එක් වෛද්‍ය පීඨයට ඇතුළු වීමට අවශ්‍ය වූ අවම z-ස්කෝර් අගයයන් හා අදාළ z-ස්කෝර් අගයයන් ලැබීමට උසස්පෙල විභාගයට මුහුණ දුන් සිසුන් අතරින් කොපමණ පිරිසකට වඩා ඉදිරියෙන් සිටිය යුතුද යන්න පහතින් පෙන්වා තිබේ.

පේරාදෙණිය: 2.0877 (වැඩිම 1.84%)
ශ්‍රී ජයවර්ධනපුර: 2.0327 (වැඩිම 2.10%)
කැලණිය 1.9780: (වැඩිම 2.40%)
රුහුණ 1.9434: (වැඩිම 2.60%)

පසුගිය (2016) අගෝස්තුවේදී ජීව විද්‍යා ධාරාවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගණන 46,854කි. මේ ගණනින් 2.60%ක් යනු සිසුන් 1218කි. ලංකාවේ පෙර කී වෛද්‍ය විද්‍යාල අටේ ඇති පුරප්පාඩු ගණන 1260ක් පමණ වේ. ඒ නිසා, මේ වන විට කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ යන විශ්ව විද්‍යාලයකට අයත් වෛද්‍ය පීඨයකට ඇතුළු විය හැක්කේ දිස්ත්‍රික් පදනම සලකා නොබැලුනද ඒ සඳහා අවස්ථාවක් හිමි වන අයට පමණි. අදාළ වෛද්‍ය පීඨ වලට එක් එක් දිස්ත්‍රික්කයෙන් අවශ්‍ය වන අවම z-ස්කෝර් අගයයන්ගේ ඇති සමානත්වය මේ කරුණ තහවුරු කරයි. (මා දන්නා තරමින් z-ස්කෝර් අගය ගණනය කිරීමේදී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන් සම්මතකරණයට ලක් කරන්නේ ජීව විද්‍යා ධාරාවේ සිසුන් පමණක් සැලකිල්ලට ගෙන නොවේ. ජීව විද්‍යා හා භෞතික විද්‍යා ධාරාවන් හදාරන සිසුන්ගේ ලකුණු වල ව්‍යාප්තීන්හි තිබිය හැකි වෙනස්කම් නිසා ඇති වන බලපෑම මෙහිදී සැලකිල්ලට ගෙන නැත.)

යාපනය, රජරට හා නැගෙනහිර සරසවි වල වෛද්‍ය පීඨ ගුණාත්මක භාවය අතින් මේ වන විට පවතින්නේ පෙර කී සරසවි පහට වඩා සැලකිය යුතු තරම් පහළිනි. යාපනය වෛද්‍ය පීඨයේ සිටින්නේ මහාචාර්යවරුන් දෙදෙනෙකු හා එක් සහකාර මහාචාර්යවරයෙක් පමණි. රජරට වෛද්‍ය පීඨයේ සිටින්නේ මහාචාර්යවරුන් දෙදෙනෙකු පමණි. නැගෙනහිර වෛද්‍ය (සෞඛ්‍ය විද්‍යා) පීඨයේ මහාචාර්යවරුන් හෝ සහකාර මහාචාර්යවරුන් කිසිවෙකුත් නැත!

පෙර කී සරසවි පහේ එක් වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යයන සේවා වියදම් වෙනුවෙන් පමණක් ලක්ෂ 30ක පමණ මුදලක් වියදම් කෙරෙන නමුත් පසුකී සරසවි තුනේ සිසුවෙකු වෙනුවෙන් එසේ වැය කෙරෙන්නේ එයින් අඩකටත් වඩා අඩු මුදලකි. යාපනය වෛද්‍ය පීඨයට යම් තරමකින් ඇතත්, රජරට හා නැගෙනහිර වෛද්‍ය පීඨ වලට කාලයත් සමඟ ගොඩනගාගත් කීර්ති කදම්භයක්ද නැත.

මේ පසු කී සරසවි තුනෙන් එකක් අයදුම්කරුවෙකුගේ ප්‍රමුඛ තේරීම වන්නේ ඉතා කලාතුරකිනි. එසේ වන්නේද, ජනවාර්ගිකත්වය වැනි වෙනත් කරුණු මත පදනම්වය.

යාපනය හා නැගෙනහිර වෛද්‍ය පීඨ, තේරුම් ගැනීමට අපහසු නොවන හේතු මත, සිංහල සිසුන් වැඩි දෙනෙකුට ආකර්ශනීය තේරීමක් නොවේ. ඒ නිසා, ගුණාත්මක භාවය විශාල ලෙස සැලකිල්ලට නොගනිමින් බොහෝ සිංහල සිසුහු රජරට වෛද්‍ය පීඨය සිය හයවන තේරීම කරගෙන සිටිති. මේ අයුරින්ම, දෙමළ සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් යාපනය වෛද්‍ය පීඨය තෝරාගෙන ඇත්තේ ගුණාත්මක භාවය යන සාධකයට අඩු තැනක් දෙමිනි.

මුල් සරසවි පහට යන්නට වරම් නොලබන සිංහල සිසුන්ගේ හයවන තේරීම වීම නිසා රජරට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමටද 1.8568ක අවම z-ස්කෝර් අගයක් අවශ්‍ය වන අතර ඒ සඳහා උසස්පෙළ සිසුන් අතරින් වැඩිම z-ස්කෝර් අගයක් ලැබූ සිසුන් 3.17% අතර සිටිය යුතුය. රජයේ වෛද්‍ය පීඨ වල ඇති පුරප්පාඩු සියල්ල දිස්ත්‍රික් පදනම නොසලකමින් z-ස්කෝර් අගය මත පමණක් පදනම්ව පිරවූයේනම් රජයේ කිසියම් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි වන්නේ (මගේ ගණනය කිරීම් අනුව) 1.9285ක අවම z-ස්කෝර් අගයක් ලබාගන්නා සිසුන්ට පමණි. මීට වඩා අඩු z-ස්කෝර් අගයක් ලබාගෙන කොළඹට, පේරාදෙණියට, ජයවර්ධනපුරට, කැළණියට හෝ රුහුණට යන්නට නොහැකි වුවත් රජරටට යන්නට බැරිකමක් නැත.

කෙසේ වුවද, රජරටට යන සියලුම වෛද්‍ය සිසුන් මීට වඩා අඩු z-ස්කෝර් අගයක් ලබාගත් අය නොවෙති.මේ සිසුන් අතර දිස්ත්‍රික් පදනම මත "පෝලිම පැන" පැමිණි සිසුන් කිසියම් පිරිසක් සිටින නමුත් රජරට සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද, දිස්ත්‍රික් පදනමක් නොතිබුණත් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ ඉඩකඩ හිමි කරගත හැකිව සිටි අයයි. මේ අයුරින්ම යාපනය හා නැගෙනහිර වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සියලුම සිසුන් දිස්ත්‍රික් පදනම හේතුවෙන් ඒ වරප්‍රසාදය ලබන අය නොවූවත්, දිස්ත්‍රික් පදනම මත "පෝලිම පැනීමේ" අවස්ථාව හිමි කරගන්නා සිසුන්ට මේ වන විට ඇතුළු විය හැක්කේ රජයේ වෛද්‍ය පීඨ අතර ගුණාත්මක භාවයෙන් අඩු රජරට, යාපනය හෝ නැගෙනහිර වෛද්‍ය පීඨ තුනෙන් එකකට පමණි. මේ සරසවි තුනට ඇතුළු වන මුළු වෛද්‍ය සිසුන් ගණනද 31.2%ක් නිසා එය දිස්ත්‍රික් ක්‍රමයේ වාසිය ලබන සිසුන් ප්‍රතිශතයේ උපරිම සීමාවයි. සැබෑ ගණන 20-30% අතර ප්‍රමාණයක් විය යුතුය.

පසුගිය (2016) උසස්පෙළ ප්‍රතිඵල හා ඉගෙනුම ලැබූ දිස්ත්‍රික්කය අනුව රජයේ වෛද්‍ය පීඨයකට (නැගෙනහිර වෛද්‍ය පීඨයට) ඇතුළත් කරගැනුණු සිසුන් අතරින් අවම z-ස්කෝර් අගයක් ලබා ඇති මුලතිවු දිස්ත්‍රික්කයේ සිසුවා හෝ සිසුවියගේ z-ස්කෝර් අගය 1.4818කි. මේ අනුව,  z-ස්කෝර් අගය අනුව ඔහුට හෝ ඇයට වඩා ඉදිරියෙන් සිටින මුළු අයදුම්කරුවන්ගේ ප්‍රතිශතය 6.92%ක් වන අතර, සංඛ්‍යාත්මකව 3242ක් පමණ වේ. මේ අනුව, තමන්ට වඩා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 2000ක් පමණ පසු කරමින් ඔහු හෝ ඇය වෛද්‍ය පීඨ ප්‍රවේශය ලබාගෙන තිබේ. 2016 වසරේ උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් සරසවි ප්‍රවේශ මූලික සුදුසුකම් ලැබූ 25,875ක් අතරින්ද මේ සිසුවා සිටින්නේ ඉහළම 12.53% අතරේය. ඒ අනුව, දිස්ත්‍රික් ක්‍රමය යටතේ හෝ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුළු හෝ අවස්ථාවක් ඇත්තේ අයදුම්කරුවන් අතරින් ඉහළින්ම සිටින 12.53%කට පමණි.

කෙසේ වුවත්, උසස්පෙළ ප්‍රතිඵල හා ඉගෙනුම ලැබූ දිස්ත්‍රික්කය යන පදනම් වලට අමතරව රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට තවත් ක්‍රම රාශියක් තිබේ. ක්‍රීඩා හෝ කලා කටයුතු වල සුවිශේෂී දක්ෂතා දැක්වීම, ආබාධිතයෙකු වීම, ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වීම, විදේශ උපාධියක් ලබා තිබීම වැනි කරුණු සලකමින් රජයේ වෛද්‍ය විද්‍යාල වල පුරප්පාඩු වලින් 2.5%ක් පුරවන අතර සංඛ්‍යාත්මකව වසරකට 32කට ආසන්න පිරිසක් මෙවැනි අඩු පාරදෘශ්‍ය ක්‍රම වලින් රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වෙති. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කුසලතා, දිස්ත්‍රික් හා දුෂ්කර ප්‍රදේශ පදනම් මත බෙදා හරින්නේ ඉතිරි පුරප්පාඩු 97.5%යි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් පමණක් වුවත් එවැනි සාමාර්ථයක් ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සිදුවීමට ප්‍රායෝගිකව යම් හෝ ඉඩක් ඇත්තේ මේ 2.5% කැටගරිය තුළ පමණි. මගේ අදහස පරිදි මේ කැටගරියෙන් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ලබන අය කොළඹ වෛද්‍ය පීඨය වැනි වඩාත්ම තරඟකාරී වෛද්‍ය පීඨ වල පවා සිටින්නට පුළුවන. (මෙය කරුණු ඉදිරිපත් කිරීමක් මිස මේ සම්බන්ධව කෙරෙන විවේචනයක් නොවේ.)

ලංකාවේ ඇති නවවන වෛද්‍ය පීඨය කොතලාවල වෛද්‍ය පීඨයයි. එහි වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ලබා ගත යුතු අවම සුදුසුකම උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනකි. මිලිටරි හා සිවිල් ලෙස මෙහි වෛද්‍ය උපාධි පාඨමාලාවේ කොටස් දෙකකි. මිලිටරි වෛද්‍ය උපාධි පාඨමාලාව හදාරන අය ඒ සඳහා මුදල් ගෙවිය යුතු නැති අතර ඔවුන්ට මාසික වේතනයක්ද හිමි වේ. එහි හිලවුවට ඔවුන් සිය උපාධිය ලබා ගැනීමෙන් පසුව නිශ්චිත කාලයක් ලංකාවේ ආරක්ෂක හමුදාවක සේවය කළ යුතුය. සිවිල් වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා වසර පහක් තුළ ඇමරිකන් ඩොලර් 50,250ක් හෙවත් අද විණිමය අනුපාතිකය අනුව (155.43) රුපියල් ලක්ෂ 81 ඉක්මවන මුදලක් ගෙවිය යුතුය. සාක් රටවල සිසුන්ට, චීන ජාතිකයන්ට හා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ගෙවන්නට වන මුදල මීට වඩා තරමක් අඩුය. ඔවුන් විසින් වසර පහක් තුළ ඇමරිකන් ඩොලර් 45,000ක් හෙවත් අද විණිමය අනුපාතිකය අනුව රුපියල් ලක්ෂ 70ක් පමණ මුදලක් ගෙවිය යුතුය. විදේශගත ශ්‍රී ලාංකිකයකුගේ දරුවකු නොවන ශ්‍රී ලාංකිකයින්ට මේ ලක්ෂ 70ක හෝ ලක්ෂ 81ක මුදල ගෙවා එහි සිවිල් වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමට ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට ඇති අවස්ථාව ජාතිකත්වය මත පදනම්ව අහෝසි කර තිබේ. ඒ නිසා, මුදල් ගෙවන්නට කැමති වුවත් චීන ජාතික හෝ ඉන්දියන් ජාතික දරුවෙකුට මෙන් කොතලාවල වෛද්‍ය උපාධිය හැදෑරීමට ශ්‍රී ලාංකික දරුවෙකුට ඉඩක් නැත.

ලංකාවේ දහවන වෛද්‍ය පීඨය සයිටම් වෛද්‍ය පීඨයයි. එහි වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ලබා ගත යුතු අවම සුදුසුකම උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකකි. දැනගන්නට ඇති තරමින්, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකුට මුදල් ගෙවා එහි ඉගෙනුම ලැබීමට වෙනත් බාධාවක් නැත. පාඨමාලා ගාස්තු ගෙවන්නට කැමති, මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකුට කොතලාවල වෛද්‍ය පීඨයේදී මෙන් ජාතිකත්වය මත වෙනස් ලෙස සලකුණු නොලැබ අධ්‍යාපනය ලැබීමේ නිදහස එහි තිබේ. මෙහි පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 90ක් බව පැවසේ. මෙය කොතලාවල වෛද්‍ය පීඨය විසින් අය කරන මුදලට හා රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකු වෙනුවෙන් වැය කෙරෙන සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලකි.

මේ වන විට, ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සඳහා සලකා බැලෙන තරමේ සුදුසුකම් ඇති, එහෙත් එසේ ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන අයෙකුට ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති එකම විකල්පය සයිටම් ආයතනයයි. මුදල් ගෙවන්නට කැමති අයෙකුට එයට ඇති එකම බාධාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති රජයේ වෛද්‍ය පීඨයකට හෝ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළු වීමේදී සලකා බැලෙන අවම සුදුසුකමට වඩා තරමක් වැඩි අවම සුදුසුකමක් තිබීම පමණි. එසේ නැත්නම්, ඔවුන් වෛද්‍ය උපාධිය සඳහා විදේශගත විය යුතුය. අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් හෝ නැති අයෙකුට මුදල් ගෙවා වුවත් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පහසු නොවන නිසා එය එතරම්ම සීමාකාරී සාධකයක් ලෙස සැලකිය නොහැකිය.

ඉහත තත්ත්වය මත සයිටම් වෛද්‍ය පීඨය සතුව ඒකාධිකාරයක් තිබේ. ඒකාධිකාරයක් ඇති විට මිල කෙරෙහි බලපෑමක් කර වැඩි ලාභ ලැබීමේ අවස්ථාවක් තිබේ. තරඟයක් ඇති විට මේ ඒකාධිකාරී ලාභ අඩු වී හෝ නැති වී යයි. සයිටම් ආයතනය කොපමණ ප්‍රමාණයක ඒකාධිකාරී ලාභ ලබනවාද? එසේ ලබනවානම්, ඉදිරියේදී වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන මිල අඩු වෙයිද? එවිට සයිටම් ආයතනයේ ගුණාත්මක භාවය කවර අයුරින් වෙනස් වෙයිද?

සයිටම් ආයතනය ආරම්භයේදී එහි පරිපාලකයින් විසින් සිය ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු උත්සාහයක් දරා තිබෙන බව පැහැදිලිය. මේ අතින් සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ අඩු වශයෙන් යාපනය, රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට වඩා ඉදිරියෙනි. අනෙකුත් භෞතික සම්පත් අතින්ද එහි අඩුවක් නොපෙනේ. එහෙත්, සිසුන්ගේ තත්ත්වය හා අදාළව සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ රජයේ වෛද්‍ය පීඨ අටට වඩා පිටුපසිනි. මේ අනුව, මෙහි පරිපාලකයන්ගේ ව්‍යාපාරික උපායමාර්ගය වන්නේ ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම හා භෞතික සම්පත් වෙනුවෙන් මුදල් "ලෝබ නැතුව" වියදම් කරන අතර මේ වියදම් ආවරණය කර ගැනීම සඳහා (හා ලාභ ලැබීම සඳහා) ප්‍රමාණවත් තරම් ආදායමක් ඉපැයීම බව පෙනේ.

ලාභ ලැබීම අරමුණු කරගත් වෛද්‍ය පීඨයකට සිය අරමුණ කරා යා හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න මිල ඉහළ මට්ටමක තබා ගනිමින් ලාභ ආන්තික වැඩි කරගැනීමයි. දෙවැන්න, හැකිතාක් වැඩි සිසුන් ගණනක් බඳවා ගැනීමයි. ඕනෑම නිශ්චිත මිලක් අය කරමින් බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරන විට සිසුන්ගේ සාමාන්‍ය ගුණාත්මක භාවය පහළ යයි. මිල වැඩි කරන විට ඉල්ලුම් කරන සිසුන් ප්‍රමාණය අඩු වෙයි. නියම කරන මිල ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලට වඩා පහළ මිලක්නම්, පවතින පුරප්පාඩු ගණනට වඩා වැඩි අයදුම්කරුවන් ගණනක් අතරින් "වඩා හොඳ" සිසුන් තෝරා ගැනීමට ඉඩක් ලැබෙන නමුත්, ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල අය කරන විට අධ්‍යාපන සේවා සපයන ආයතනයකට ඒ තෝරාගැනීම නැති වේ.

කොතලාවල වෛද්‍ය පීඨය විසින් විදේශ සිසුන් බඳවා ගැනීමේ අරමුණ ලාභ ලැබීමම නොවේ. ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රමිතිය පවත්වා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවකි. එහෙත්, ඔවුන් පාඩු ලබමින් විදෙස් සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනවා විය නොහැකිය. ඒ නිසා, ලක්ෂ 81ක පාඨමාලා ගාස්තුවෙන් පමණක් නොව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ගෙන් හා සාක් රටවල හා චීන සිසුන්ගෙන් අය කරන රුපියල් ලක්ෂ 70ක පමණ මුදලින්ද අඩු වශයෙන් පිරිවැය ආවරණය වනවා විය යුතුය. එහෙත්, සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණක් ඇති නිසා මෙහි විශාල ලාභයක් තිබෙන්නටද නුපුළුවන.

රජයේ ප්‍රමුඛ වෛද්‍ය පීඨ පහෙන් එකක සිසුවෙකු වෙනුවෙන්ද රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වැය කෙරෙන බව ඇස්තමේන්තු කළ හැකි නිසා පස්වසරක වෛද්‍ය උපාධි පාඨමාලාවක විචල්‍ය පිරිවැය එපමණ වන්නට ඉඩ තිබේ. එයට අමතරව, රජයේ සරසවි වල දශක ගණනක් තිස්සේ සිදුකර ඇති ප්‍රාග්ධන ආයෝජනද සැලකූ විට වෛද්‍ය උපාධි පාඨමාලාවක මුළු පිරිවැය රුපියල් ලක්ෂ 70ක් පමණ විය හැකිය. ඒ නිසා, ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකට වුවද වෛද්‍ය උපාධි පාඨමාලාවක් වෙනුවෙන් අඩු වශයෙන් එපමණ මුදලක්වත් අය කරන්නට සිදු වනු ඇත. ලාභ පිණිස කටයුතු කරන ආයතනයක්, තරඟකාරී තත්ත්වයන් යටතේ අඩු වශයෙන් රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් අය කරනු ඇතැයි සිතිය හැකිය. කොතලාවල වෛද්‍ය පීඨය විදෙස් සිසුවකුගෙන් අය කරන්නේ මීට ආසන්න මුදලකි.

සයිටම් ආයතනය විසින් අය කරන මුදල ඉහත ඇස්තමේන්තුවට වඩා වැඩි මුදලකි. මෙයට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපායි.

පළමුව, සයිට්ම් වෛද්‍ය පීඨයේ ඉලක්ක පාරිභෝගිකයන් කණ්ඩායම වන්නේ වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා විදේශ සරසවියකට දරුවන් යැවීම ගැන සලකා බලන දෙමවුපියන්ය. ඒ සඳහා වැය වන පිරිවැය රුපියල් ලක්ෂ 90 ඉක්මවයි. ඒ නිසා, මේ මිල යටතේ වෛද්‍ය උපාධි පාඨමාලාවකට ප්‍රමාණවත් තරමේ ඉල්ලුමක් තිබේ. මිල මට්ටම රුපියල් ලක්ෂ 70 වැනි මට්ටමකට අඩු කළද ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නේ නැත. ඒ නිසා, සයිටම් ආයතනයට මිල අඩු කර ඉල්ලුම වැඩි කරගැනීම මඟින් ලාභ වැඩි කර ගත නොහැකිය.

අනෙක් අතට වෛද්‍ය විද්‍යාලයකට ශික්ෂණ රෝහලක් අවශ්‍යය. සයිටම් ආයතනය විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකර තිබේ. කොතලාවල වෛද්‍ය පීඨය විසින් මෙවැන්නක් සිදු කර නැති අතර රජයේ අලුත් වෛද්‍ය පීඨ ඇති කරන විටද (මා දන්නා තරමින්) බොහෝ විට සිදුවුනේ එවකට පැවති රෝහලක් ශික්ෂණ රෝහලක් ලෙස ප්‍රයෝජනයට ගැනීම හෝ වැඩිදියුණු කරනු ලැබීමයි.

දිගුකාලීනව පෞද්ගලික ශික්ෂණ රෝහලක වියදම් එහි පැමිණෙන රෝගීන්ගෙන් ආවරණය වන නමුත් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට තවමත් ස්වාධීන මූල්‍ය පැවැත්මක් නැත. ඒ නිසා, මේ අවස්ථාවේදී සයිටම් ආයතනය විසින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනයෙන් කොටසක්ද සයිටම් වෛද්‍ය සිසුන්ගෙන් අය කර ගැනීමට සයිටම් පරිපාලකයෝ උත්සාහ කරති. රෝහල හදා තිබෙන්නේම වෛද්‍ය පීඨය වෙනුවෙන් නිසා මෙය තේරුම් ගැනීම අපහසු නැත. කිසියම් කාලයකට පසු සයිටම් පාඨමාලා ගාස්තුවේ මේ කොටස පමණක් ඉවත් වනු ඇත. එහෙත්, එසේ වූ පමණින් සයිටම් වෛද්‍ය පීඨයේ පාඨමාලා ගාස්තු විශාල ලෙස පහත වැටෙන්නට ඉඩක් නැත.

කෙසේ වුවද, රුපියල් ලක්ෂ 90ක පාඨමාලා ගාස්තු ගෙවා ඉගෙනීම ලබන්නට කැමති විශාල පිරිසක් දැනට ලංකාවේ නැත. මෙයට මූල්‍යමය නොවන වෙනත් සාධක ගණනාවක්ද බලපායි. ඒ අතරින් පළමුවැන්න සයිටම් උපාධියට ලැබෙන පිළිගැනීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

අඩු වශයෙන් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට තේරුණු එක් ශිෂ්‍යයෙක් එම අවස්ථාව අතහැර පූර්ණ ශිෂ්‍යත්වයක් මත සයිටම් වෛද්‍ය පීඨයට බැඳී තිබේ. එහෙත්, එවැනි පදනමක් මත හෝ (නැවතත්- මා දන්නා තරමින්) රජයේ වෛද්‍ය පීඨයකට තේරුණු කිසිදු වෛද්‍ය සිසුවෙකු සයිටම් ආයතනයට පැමිණ නැත. තමන්ට කිසිදු පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු නොවුවත්, තවමත්, කිසියම් සිසුවෙකු රජයේ වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයෙන් අඩුම වෛද්‍ය පීඨය ලෙස සැලකිය හැකි නැගෙනහිර වෛද්‍ය පීඨය අතහැර සයිටම් වෛද්‍ය පීඨයට පැමිණේද යන්න සැක සහිතය.

මෙය සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක්ම නොවේ. උපාධිය අවසන් කිරීමෙන් පසු ආදායම් ඉපදවීමට ඇති අවස්ථා පිළිබඳ ප්‍රශ්නයකි. කවර අවදානම් තිබුණත්, දන්ත වෛද්‍ය උපාධියකට වඩා සයිටම් වෛද්‍ය උපාධියේ අපේක්ෂිත වටිනාකම වැඩිය. ඒ නිසා දන්ත වෛද්‍ය පීඨයට තේරුණු අයෙකු පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබ සයිටම් වෙත එන්නට කැමති වූවත් රජයේ වෛද්‍ය පීඨයකට තේරුණු අයෙකුට වැඩි රැකියා අවිනිශ්චිතතාවයකට මුහුණ දෙමින් මේ අවස්ථාවේදී එසේ කරන්නට තාර්කික හේතුවක් නැත.

සයිටම් ආයතනය කාලයක් පැවතුනහොත් එහි වෛද්‍ය උපාධියේ වටිනාකම පිළිබදව අවදානම් පහව යන නිසා මුදල් ගෙවා එහි ඉගෙන ගන්නට එන සිසුන් ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත. එවිට, දැන් මෙන් තමන්ට බඳවා ගත හැකි සියලුම සිසුන් බඳවා නොගෙන සීමිත ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගැනීමේ අවස්ථාව සයිටම් ආයතනයට ලැබෙන නමුත් ලාභ ලැබීම අරමුණු කරගත් ආයතනයක් වශයෙන් ඔවුන් විසින් බොහෝ විට කරනු ඇත්තේ පහසුකම් වැඩි කර වැඩි සිසුන් ගණනක් බඳවා ගැනීම මිස අවස්ථා ගණන සීමා කිරීම නොවේ. යම් හෙයකින් සයිටම් ආයතනය විසින් එසේ අවස්ථා ගණන සීමා කළහොත් සිදුවන්නේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති වීමට අඩිතාලම වැටීමයි.

සයිටම් ආයතනයට සිය කර්මාන්තයේ පුරෝගාමියා වීමේ වාසිය තිබේ. දැනට පවතින තත්ත්වය අනුව, දෙවන පෞද්ගලික වෛද්‍ය පීඨයක් වසර කිහිපයක් ඇතුළත පිහිටුවීමට තරම් ඉල්ලුමක් ලංකාවේ නැත. සයිටම් ආයතනය විසින් මූලික ස්ථිර ආයෝජන සිදුකර අවසන් නිසා එම ආයතනයට වැඩි සිසු පිරිසකට පහසුකම් සැලසීම සඳහා වැඩි අමතර වියදමක් දරන්නට සිදු නොවේ. එමෙන්ම, ගුණාත්මක භාවය පිළිබඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු නොවුනහොත්, සයිටම් ආයතනයට කාලයත් සමඟ එකතු වන කීර්තියද එම ආයතනයේ වත්කමක් වනු ඇත. පුරෝගාමියාගේ මේ ස්ථාවරත්වය සමඟ තරඟ කිරීම දෙවැන්නෙකුට පහසු නොවන නිසා සයිටම් ආයතනයට තවත් වසර ගණනාවක් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැපයීමේ ඒකාධිකාරයක් හිමි වන්නට ඉඩ තිබේ.

කෙසේ  වුවද, රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට අවස්ථාව හිමිකරගන්නා සිසුවෙකු සයිටම් වෙත අනාගතයේදී හෝ ආකර්ෂණය වනු ඇත්තේ පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි වන්නේනම් පමණි. රජයේ වෛද්‍ය පීඨ හා බැඳුනු නවක වද, පංති වර්ජන ආදී නිශේධනාත්මක කරුණු සියල්ලේම අපේක්ෂිත හානිය එකතු කළත් එය කිසිදු අයුරකින් රුපියල් ලක්ෂ අනූවකට කිට්ටුවෙන්වත් යන්නේ නැත. ඒ නිසා සයිටම් වෛද්‍ය පීඨය වෙත ආකර්ෂණය වනු ඇත්තේ රජයේ වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව අහිමි වන සිසුන් පමණි. මේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම පෝෂණය කිරීමට දැනට පොදු පාසැල් පද්ධතියෙන් පිටත ජාත්‍යන්තර පාසැල් වල අධ්‍යාපනය හදාරන සිසු පිරිස විසින් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.

ප්‍රාදේශීය නගර වලට ටියුෂන් ව්‍යාප්ත වීම හේතුවෙන් උසස් පෙළ විභාගයේ තරඟකාරීත්වය මේ වන විටද විශාල ලෙස වැඩි වී තිබේ. මෙහි බලපෑම මේ වන විට ලොකුවට දකින්නට නැත්තේ මුලතිවු, නුවරඑළිය හා පොළොන්නරුව වැනි ජනගහණය අඩු දිස්ත්‍රික්ක කිහිපයක පමණි. මේ හේතුවෙන් සරසවි ප්‍රවේශ ක්‍රියාවලිය තුළ දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ බලපෑම මේ වන විටත් සැලකිය යුතු තරමින් අඩු වී තිබේ. දැන් ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයට යාම කොළඹ දිස්ත්‍රික්කයෙන් යනවාට වඩා අසීරුය. දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස සැලකෙන රත්නපුර හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයකට ඇතුළු වීම, 5% කෝටාව තිබියදී පවා, ගම්පහ, කළුතර වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයට ඇතුළු වනවාට වඩා අසීරුය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි නොකළද තවත් වසර හත අටක් යන විට සරසවි ප්‍රවේශයේදී එහි බලපෑමක් නැති වී යන්නට ඉඩ තිබේ.

කිසියම් වෙළදපොළ අසමතුලිතතාවයක් ඇති විට එය ස්වභාවික ලෙසම සමතුලිත වන නමුත් ඒ සඳහා වසර ගණනාවක් ගත විය හැකිය. දශක ගණනකට පෙර එක්තරා නිශ්චිත ප්‍රශ්නයකට විසඳුමක් ලෙස, වෙනත් ප්‍රශ්න ගණනාවකටද මුල පුරමින් හඳුන්වා දෙනු ලැබූ දිස්ත්‍රික් කෝටා ක්‍රමය එදා පැවති තත්ත්වයන් විශාල ලෙස වෙනස් වී ඇති අද දක්වාම නොවෙනස්ව පවත්වා ගැනීම මඟින් පැහැදිලිව පෙන්වා දෙන පරිදි රජය හරහා පාලනය කෙරෙන මධ්‍යගත අධ්‍යාපන සේවා සැලසුම් ක්‍රමයකට බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නැත. එහෙත්, එයට විකල්පයක් ලෙස බිහිවී ඇති පෞද්ගලික ටියුෂන් ක්‍රමය විසින්, එහි කවර අඩුපාඩු තිබිය හැකි වුවත්, ලංකාවේ විවිධ ප්‍රදේශ අතර අධ්‍යාපන සේවා සැපයුමේ ඇති ප්‍රාදේශීය විෂමතා වඩා වේගයෙන් සමනය කරමින් සිටී.

එක් අතකින් දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ බලපෑම ක්ෂය වෙමින් ලංකාවේ සරසවි පිවිසුම් වෙළඳපොළ තනි වෙළඳපොළක් බවට පත් වෙද්දී, අධ්‍යාපන සේවා සැපයුම අතින් පසුගාමී දිස්ත්‍රික්ක වල සිසුන්ගේ උසස්පෙළ ප්‍රතිඵලද කොළඹ මට්ටමට අභිසාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස සරසවි ප්‍රවේශ මූලික සුදුසුකම් සපුරන ප්‍රමාණය වසරින් වසර වේගයෙන් වැඩි වේ. එහෙත්, ඒ වේගයෙන් රජයේ වෛද්‍ය විද්‍යාල වල ඇති පුරප්පාඩු ප්‍රමාණය වැඩි නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ වසරින් වසර රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම තවතවත් අසීරු වීමයි. මේ අයුරින් රජයේ වෛද්‍ය පීඨ වලින් බැහැර වන අයදුම්කරුවන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිවීමද සයිටම්හි ඉලක්ක පාරිභෝගික සංචිතය පුළුල් කරයි.

කෙසේවුවද, රජයේ වෛද්‍ය පීඨ වලින් බැහැර වන පිරිස් වැඩි වූ පමණින් සයිටම්හි ඉලක්ක පාරිභෝගික සංචිතය විශාල වන්නේ නැත. ඒ සඳහා, ඒ අය අතරින් රුපියල් ලක්ෂ 90ක විශාල පිරිවැය දැරිය හැකි ප්‍රමාණයද ඉහළ යා යුතුය. රටේ ආර්ථික වර්ධනයට සමාන්තරව මෙය සිදුවුවත් එය වේගයෙන් සිදුවන්නක් නොවේ. ඒ නිසා, සයිටම් යනු රටේ සීමිත පිරිසකට පමණක් ඇති අවස්ථාවක්ය යන කරුණ වසර කිහිපයකින් වෙනස් වන්නට නියමිත දෙයක් නොවේ.

සයිටම් ආයතනයේ අරමුණ ලාභ ලැබීම නිසා එම ආයතනය විසින් තමන්ට ආකර්ශනය කරගත හැකි, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නට කැමති සියලුම සිසුන් ආකර්ශනය කරගන්නට ඉඩ ඇති අතර බාහිර සමාජයෙන් ප්‍රතිරෝධයක් නැත්නම් සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක ඉහළ දමන්නට එම ආයතනය ස්වභාවික ලෙස නොපෙළඹෙනු ඇත. අවශ්‍ය අවම සුදුසුකම සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් ලෙස ඔවුන් ඉහළ නංවා ඇත්තේ බාහිර පීඩනයට ප්‍රතිචාරයක් වශයෙනි. නිදහසේ සිය ව්‍යාපාර කටයුත්ත කරන්නට ඉඩ ලැබේනම් සයිටම් ආයතනය විසින් මේ අවම සුදුසුකම ඇති, ලක්ෂ 90ක මිල ගෙවන්නට කැමති පාරිභෝගික පිරිස මුළුමනින්ම වාගේ ආකර්ශනය කරගනු ඇත.

කෙසේ වුවද, සයිටම් ආයතනය විසින් ලංකාවේ වෛද්‍ය සේවා වෙළදපොල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මට්ටම දක්වා වෛද්‍යවරුන් බිහි කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව ලංකාවේ පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවට අමතරව මුදල් නොගෙවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවද තිබීමයි. නොමිලේ ප්‍රතිකාර ගැනීමේ විකල්පයක් රෝගීන් සතුව ඇති නිසා පෞද්ගලික වෛද්‍ය සේවා සපයන වෛද්‍යවරුන්ට රෝගීන්ගෙන් "නියම මිල" අය කිරීමේ හැකියාවක් නැත. පාඨමාලා ගාස්තු නොගෙවා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවූවත්, රුපියල් ලක්ෂ 90ක් ආයෝජනය කර වෛද්‍යවරයෙකු වන අයෙකුට මෙය ප්‍රශ්නයකි. ඒ නිසා, ලංකාවට අවශ්‍ය "නියම වෛද්‍යවරුන් ප්‍රමාණය" බිහි වන්නට පෙරම සයිටම් සඳහා ඉල්ලුමක් නැති වනු ඇත.

ඇතැම් අය අදහස් කරන්නේ මුදල් ඇති අය සමාජ තත්ත්වය වෙනුවෙන් වෛද්‍යවරුන් වෙන්නට උත්සාහ දරන බවයි. මේ අදහස සමඟ මා එකඟ වන්නේ නැත. මුදල් සාධකය අමතක කළද, වෛද්‍ය වරයෙකු වීම සඳහා පුහුණු වන අයෙකු විශාල කැපකිරීමක් කළ යුතුය. වෛද්‍ය වෘත්තියට විශාල කැමැත්තක් නැති අයෙකු වසර ගණනක් මෙවැනි කැප කිරීමක් කරන්නට ලොකු ඉඩක් නැත. අනෙක් අතට, ලක්ෂ 90ක් ආයෝජනය කළ හැකි අයෙකු කිසියම් සමාජ තත්ත්වයක් කොහොමටත් ඇති අයෙකි.

ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන ඇතැම් වෛද්‍යවරුන් විශාල ආදායමක් උපයන නමුත් පොදුවේ ගත් කළ බොහෝ වෛද්‍යවරු එවැනි විශාල ආදායම් නොඋපයති. වෛද්‍ය සේවාවන් සඳහා සාමාන්‍ය පාරිභෝගිකයෙකු දැනට ගෙවන ගාස්තු පවතින තත්ත්වයන් යටතේ වෛද්‍යවරයෙකුට අයකළ හැකි ඉහළම ගාස්තුය. මේ අඩු මිල ගණන් යටතේ වෙළඳපොල සමතුලිත වන්නේ පාරිභෝගිකයන්ට විශාල කාලයක් රස්තියාදු වන්නට සිදුවීමත් වෛද්‍යවරයෙකුගේ මිනිත්තුවකට විශාල වටිනාකමක් ලැබීමත් හරහාය.

එහෙත්, රුපියල් ලක්ෂ 90ක් ගෙවා සයිටම් යන්නට හැකි අය ලංකාවේ ඉන්නවාක් මෙන් දැන් වෛද්‍යවරයෙකුට ගෙවන මිල මෙන් දහපහළොස් ගුණයක් වුවත් ගෙවන්නට සූදානම් පාරිභෝගිකයන්ද සැලකිය යුතු පිරිසක් මේ වන විට ලංකාවේ සිටිති. මා දන්නා තරමින් මේ අය ඉලක්ක කරගත් වෛද්‍ය සේවා වෙළඳපොළක් තවමත් බිහි වී නැත.

ඉහළ ආදායම් උපයන ලංකාවේ ඇතැම් අයගේ කාලය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාලයට වඩා කිහිප ගුණයක් වටී. ඒ අතරම දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් අයකරන මුදල මෙවැනි බොහෝ දෙනෙකුට සොච්චමකි. රස්තියාදු නොවී නියමිත වෙලාවට හමුවීමේ අවස්ථාව හිමි වනවානම්, අඩුම වශයෙන් රෝගියා සමඟ විනාඩි 20ක්වත් ගත කරනවානම් සහ රෝගියා පිළිබඳ විස්තර පරිගණකයක ගබඩා කරගෙන ඔහු හෝ ඇය හමුවීමට පෙර හැදෑරීමක් කර පෙර සූදානම් වීමට කැමතිනම්, වෛද්‍යවරයෙකුට රුපියල් 25,000ක් වැනි මුදලක් වුවත් ගෙවන්නට කැමති විශාල පාරිභෝගික පිරිසක් ලංකාවේ සිටින බව මට ස්ථිරවම කිව හැකිය. මේ පාරිභෝගික කණ්ඩායම වසරින් වසර ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන් නිසා මේ ඉහළ පන්තියේ පාරිභෝගිකයින් වෙනුවෙන් වෙනම වෛද්‍ය සේවා වෙළඳපොළක් ඇති වන්නට ඉඩ තිබේ. එයින් රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කිසිදු හොඳක් හෝ නරකක් සිදු වන්නේ නැත. ඒ අයුරින්ම සයිටම් වෛද්‍ය පීඨය නිසාද ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට ගිණිය හැකි තරමේ හොඳ හෝ නරක බලපෑමක් ඇති වන්නේ නැත.

සයිටම් යනු ලංකාවේ ඇති සියලු ප්‍රශ්න වලට විසඳුමක් නොවේ. ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සැලසෙන අමුතු යහපතක් නැත. එහෙත්, සිදුවන අයහපතක්ද නැත. එහෙත්, සීමිත පිරිසකට එයින් යහපතක් සැලසේ. එය වැළැක්වීමේ කිසිදු සාධාරණත්වයක් නැත.

සයිටම් ආයතනය පවත්වාගෙන යාම මඟින් දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් විශාල ලාබයක් ලබනවා වන්නට පුළුවන. මීයක් කන්නේ අත ලෙවකන්නට නොවේ. එහෙත්, ඔහු කිසිදු ලාබයක් නොලබා පිරිවැය පමණක් අය කරමින් වෛද්‍ය අධ්‍යාපනය ලබා දුන්නද ලංකාවේ අති මහත් බහුතරයකගේ ජීවිත වලට එයින් සෘජු බලපෑමක් සිදු නොවේ. රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වුවද ලංකාවේ බොහෝ දෙනෙකුට දැරිය නොහැකි විශාල මුදලකි.

දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් ලබනු ඇතැයි සිතිය හැකි විශාල ලාබයට දායක වන්නේ සයිටම්හි අධ්‍යාපනය ලබන සිසුන් හෝ ඔවුන්ගේ දෙමවුපියන්ය. ඒ හැර වෙනත් අයගෙන් අය කර ගන්නා අරමුදල් එහි නැත. මේ මිල ගෙවන සියලු දෙනා එය කරන්නේ ස්ව කැමැත්තෙනි. රුපියල් ලක්ෂ 90 ගෙවීම ඒ අයට ප්‍රශ්නයක් නොවේනම් එහි වෙනත් අයට ප්‍රශ්නයක් තියෙන්නට නුපුළුවන. සයිටම් ආයතනය විසින් ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේනම් එයද මූලික වශයෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා අයගේ ප්‍රශ්නයකි.

කෙසේ වුවද, සයිටම් වෛද්‍ය උපාධිධාරීන් විසින් සිය පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කර වෛද්‍ය සේවාවන් සැපයීමේදී ඔවුන්ගේ ගුණාත්මක භාවයේ අඩුවක් පෙනේනම් එය වෙනත් අයගේ ප්‍රශ්නයක්ද වෙයි. එය වලක්වා ගැනීම සඳහා ලංකාව තුළ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අවම නිර්ණායක වලට යටත් කළ යුතුය. මෙවැනි නිර්ණායක සයිටම් වෛද්‍යවරුන්ට මෙන්ම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන්ටද එක සේ ක්‍රියාත්මක කළ යුතුය. වෛද්‍ය පීඨයක අයිතිය හා පාලනය රජය යටතේ තිබීම එයින් බිහිකරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් වන්නේ නැත.

සයිටම් වෛද්‍යවරුන් පෞද්ගලිකව ප්‍රතිකාර කරන්නේනම් එතැනින් එහාට ලොකු ප්‍රශ්නයක් නැත. ගුණාත්මක භාවය ප්‍රමාණවත් නැත්නම් ඔවුන්ව  වෙළඳපොලෙන් ප්‍රතික්ෂේප වනු ඇත. එහෙත්, සයිටම් වෛද්‍යවරුන්ව යම් හෙයකින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේනම් අවම නිර්ණායක වලට අමතරව තවත් අවශ්‍යතා නියම කිරීමේ වරදක් නැත. එය සේවකයින් හා සේව්‍යයා අතර සිදුවන ගනුදෙනුවක කොටසකි.

වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය කියා වෙනස් නොවන නිශ්චිත දෙයක් නැත. දැනට වසර පණහකට වඩා පෙර සිටි හොඳම වෛද්‍යවරයෙකුට වඩා දැන් වෛද්‍ය සේවා සපයන සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය ඉහළ මට්ටමක තිබෙන්නට පුළුවන. තවත් වසර පණහකට පසුව බිහිවන සාමාන්‍ය වෛද්‍යවරයෙකු ප්‍රමිතිය අතින් අද සිටින හොඳම වෛද්‍යවරයෙකුට වඩා ඉදිරියෙන් සිටින්නට පුළුවන. ගුණාත්මක භාවය යනු සාපේක්ෂ දෙයකි.

කිසියම් වෛද්‍යවරයෙකු වෙළඳපොල තුළ ප්‍රතික්ෂේප නොවේනම් එවැන්නෙකුගේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙන්නට විශාල ඉඩක් නැත. රෝගීන් කැමැත්තෙන් මුදල් ගෙවා ප්‍රතිකාර ගන්නේනම් එයින් පෙනෙන්නේ ඔවුන් වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ගැන සෑහීමකට පත් වන බවයි. කෙසේ වුවද ලංකාව වැනි රටක "හොර වෙද්දුන්ටත්" ඉල්ලුමක් තිබේ. ඒ අනුව, රෝගීන් කැමති වුවත් වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ප්‍රමාණවත් නැති බව පොදු සමාජය සිතනවානම් එය වෛද්‍යවරයාගේ ප්‍රශ්නයක් නොව පොදු සමාජයේ ප්‍රශ්නයකි. මේ අර්ථයෙන්, අදාළ වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ බරපැන දැරිය යුත්තේ පොදු සමාජයයි.

සයිටම් වෙද සිසුවෙකු තමන්ට රජයේ රෝහලක සීමාවාසික පුහුණුව ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවානම් (හා එහි පිරිවැයක් ඇත්නම්) ඒ පිරිවැය දැරිය යුත්තේ ඔහු හෝ ඇය විසිනි. එහෙත්, මෙය පොදු සමාජයේ ඉල්ලීමක්නම්, උදාහරණයක් ලෙස කිසියම් තෙවන පාර්ශ්වයක ඉල්ලීමක් මත රජය විසින් නියම කරන්නක්නම්, එහි පිරිවැය දැරිය යුත්තේ රජය විසිනි.

සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් කළොත් සිදුවන යහපත හෝ අයහපත කුමක්ද?

-දැනට එහි ඉගෙනුම ලබන සිසුන් බහුතරයකට එම අවස්ථාව නැති වනු ඇත. ඔවුන්ගෙන් කොටසක් වැඩි මුදලක් ගෙවා විදෙස් වෛද්‍ය පීඨයකට යනු ඇත.

-දැනට දන්ත වෛද්‍ය පීඨයට හා පශු වෛද්‍ය පීඨයට යන සිසුන් කොටසකට වෛද්‍ය පීඨයට යාමේ වරම් හිමි වනු ඇත. ඊට පහළින් සිටින සිසුන්ට දන්ත වෛද්‍ය හා පශු වෛද්‍ය පීඨයට යාමට ලැබෙනු ඇත.

-අමතර වෛද්‍ය සිසුන් පිරිසකට පාඨමාලා ගාස්තු රහිතව අධ්‍යාපනය ලබා දීම සඳහා මහජන මුදල් වැය කරන්නට සිදු වනු ඇත. මේ මුදල එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක් පමණ දක්වා මුදලක් විය හැකිය.

-සාමාන්‍ය මහජනතාවට උසස්පෙළ අඩු ලකුණු ලැබූ වෛද්‍යවරයෙකු වෙනුවට වැඩි ලකුණු ලැබූ වෛද්‍යවරයෙකු ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස උසස්පෙළ C සාමාර්ථ තුනක් ලබාගත් අයෙකු වෙනුවට B සාමාර්ථ තුනක් ලබාගත් වෛද්‍යවරයෙකු ලැබෙනු ඇත. (සයිටම් සිසුවකුගේ සාමාන්‍ය උසස්පෙළ ප්‍රතිඵලය C සාමාර්ථ තුනකට වඩා ඉහළ මට්ටමේ එකක් විය හැකිය.)

-ඊට අමතරව, උසස් පෙළ ප්‍රතිඵල පදනම මත සැලකුවහොත් දැනට වඩා "නරක" දන්ත වෛද්‍යවරුන් හා පශු වෛද්‍යවරුන් බිහිවනු ඇත.

-උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වෛද්‍යවරයෙකුගේ නිපුණත්වය පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් වුවත්, C සාමාර්ථ තුනක් ලබාගත් අයෙකුට සාපේක්ෂව B සාමාර්ථ තුනක් ලබාගත් අයෙකු දක්ෂ වෛද්‍යවරයෙකු වීමට වැඩි ඉඩක් තිබේ. එහෙත් ආනුභවික දත්ත අනුව ඒ ඉඩකඩ ඉතා විශාල නැත. රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සිසුන්ගේ උසස්පෙළ ලකුණු අතර වෙනස්කම් වලින් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ වෛද්‍ය පීඨ විභාග ප්‍රතිඵල අතර ඇති වෙනස්කම් වලින් 5%ක පමණ ප්‍රමාණයක් පමණි.

මේ වෙනස වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ 60ක් පමණ වැය කළ යුතුද?


There was an error in this gadget